මධ්‍යම අධිවේගයේ බස් සේවා 20 වැනිදා සිට

මධ්‍යම අධිවේගයේ බස් සේවා 20 වැනිදා සිට ඇරඹේ..

by Staff Writer . 16-01-2022 | 4:13 PM

COLOMBO (News 1st) – මධ්‍යම අධිවේගී මාර්ගයේ පොදු ප්‍රවාහන සේවා ලබන 20 වැනිදා සිට ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් තිලාන් මිරැන්ඩා මහතා පැවසුවේ, ඒ අනුව, කොළඹ - මහනුවර සහ කොළඹ - කුරුණෑගල අතර බස් සේවා ආරම්භ වන බවය. අධිවේගී මාර්ගයේ නව බස් ගාස්තු ඉදිරි දින දෙක ඇතුළත ප්‍රකාශයට පත් කරන බව ද ඔහු පැවසුවේ ය. මේ අතර, මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල සහ යග්ගපිටිය දක්වා ගමන් කිරීමේ ප්‍රවේශ පත්‍ර ගාස්තු මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව, සැහැල්ලු සහ ද්විත්ව කාර්ය වාහන සඳහා වන ප්‍රවේශපත්‍ර ගාස්තුව රුපියල් 250 කි. බස් රථ ඇතුළු රෝද හයකින් සමන්විත වාහන සඳහා මීරිගම සිට කුරුණෑගල සහ යග්ගපිටිය හුවමාරු මධ්‍යස්ථාන වෙත ප්‍රවේශ පත්‍ර ගාස්තුව රුපියල් 350 ක් බව, මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේ ය. එම අධිකාරිය පැවසුවේ, ඇක්සල් දෙකකට වඩා වැඩි වාහන සඳහා මීරිගම සිට කුරුණෑගල සහ යග්ගපිටිය හුවමාරු මධ්‍යස්ථාන වෙත ප්‍රවේශ පත්‍ර ගාස්තුව රුපියල් 550 ක් වන බවයි. මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේ, අන්තර් හුවමාරු 2 ක් අතර අවම ගාස්තුව රුපියල් 100 වන බවය. මීරිගම සිට කුරුණෑගල දක්වා ඇතුගල්පුර පිවිසුම ඊයේ(15) පස්වරුවේ ජනතා අයිතියට පත් කෙරුණේ ජනපති සහ අගමැතිගේ ප්‍රධානත්වයෙනි.