ජනපතිගේ තෛපොංගල් දින සුබ පැතුම!

හරිත කෘෂිකර්මාන්තයක් සඳහා වන ජාතික ප්‍රතිපත්තිය සාර්ථක වනු දැකීම බහුතර ශ්‍රී ලාංකිකයින්ගේ අපේක්ෂාවයි - ජනපති

by Staff Writer . 14-01-2022 | 9:37 AM

COLOMBO (News 1st) - හරිත කෘෂිකර්මාන්තයක් සඳහා වන ජාතික ප්‍රතිපත්තිය සාර්ථක වනු දැකීම බහුතර ශ්‍රී ලාංකිකයින්ගේ අපේක්ෂාව බව, තෛපොංගල් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, ඒ සඳහා තෛපොංගල් සමය දැඩි උද්යෝගයක් සපයන බව තමන් තරයේ විශ්වාස කරන බව ය. සුරක්ෂිත දේශයක සෞභාග්‍යය හා සශ්‍රීකත්වය වෙනුවෙන් කැපවී සිටින බව පවසන ජනාධිපතිතුමා, තෛපොංගල් දිනය වෙනුවෙන් සියලු ශ්‍රී ලාංකික හින්දු බැතිමතුන්ට සිය සුභාශිංෂන එක් කර සිටී. අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද තෛපොංගල් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබේ. එමගින් අග්‍රාමාත්‍යවරයා පවසන්නේ, සෞභාග්‍යමත් දේශයක් ලෙස ලොවට පියනැගීම සඳහා වූ උදාර අරමුණු සාක්ෂාත් කර ගැනීමේදී ද තෛපොංගල් දිනයෙන් අර්ථවත් පිටුබලයක් ලැබෙනු ඇති බව ය. තෛපොංගල් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ, සොබාදහමට වඩාත් සමීප වීමේ අවශ්‍යතාව දැඩිව දැනෙමින් තිබෙන වකවානුවක, දහම හා බැඳුණු තෛපොංගල් වැනි සංස්කෘතික උත්සව අවශ්‍යයෙන්ම වඩා අර්ථයක් එක් කරන බවය. මිනිස් වර්ගයාටත් සත්වයන්ටත් සොබාදහමටත් ගරු බුහුමන් පුදන බැතිබර තෛපොංගල් දිනයක් වේවායි! විපක්ෂ නායකවරයා සිය සුබ පැතුම් පණිවුඩයෙන් සඳහන් කරයි.