චීන පොහොර නැවත ගෙන්වීමේ උත්සාහයක්?

චීන පොහොර නැවත ගෙන්වීමේ උත්සාහයක්?

by Staff writer 13-01-2022 | 9:08 PM

COLOMBO (News 1st) – චීන පොහොර නැවතත් මෙරටට ගෙන්වීමේ උත්සාහයක් ක්‍රියාත්මක වෙමින් තිබේ.

ශ්‍රී ලංකා ප්‍රමිති සහ ශාක නිරෝධායන නීති හේතුවෙන් චීනයේ චින්දාඕ සීවින් සමාගමෙන් ගෙන්වූ කාබනික පොහොර තොගය හරවා යැවීමට සිදු විය . නමුත් මේ වනවිට පොහොර නැව වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 6.9 ක මුදලක් ගෙවා දමා තිබේ. මේ පසුබිම තුළ විශේෂිත පොහොර සඳහා නව ප්‍රමිතියක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සූදානම් වේ. එම ආයතනයේ කෘෂිකර්ම අංශයේ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ කේ.ඒ. අනිල් මහතා ප්‍රකාශ කළේ, එහි මූලික අදියරේ කටයුතු මේ වනවිට සිදුවෙමින් ඇති බවය. ජෛව දියර පොහොර සහ ඝන පොහොර සඳහා නව ප්‍රමිතියක් හඳුන්වා දෙන බවත් කෘෂිකර්ම අමාත්‍යාංශ ඒ සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් ඉල්ලීමක් කළ බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා තහවුරු කළේ ය. අමාත්‍යවරයා පැවසුවේ, මීට පෙර ඒ සඳහා පැවති ප්‍රමිතිය වන බැක්ටිරියා රහිත පොහොර ගෙන ඒමේ හැකියාවක් නොමැති බවය. නමුත් හානිකර බැක්ටීරියා අඩංගු පොහොර රටට ඇතුළුවීමට ඉඩ නොදෙන බව ද, ඔහු කියා සිටියේ ය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පවසන්නේ, චීන පොහොර ඉලක්කර කර නව ප්‍රමිතිය හඳුන්වා නොදෙන බවය. එහෙත් එම ආයතනයේ කෘෂිකර්ම අංශයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ කේ.ඒ. අනිල් මහතා ප්‍රකාශ කළේ, නව ප්‍රමිති තත්ත්වය මගින් සුවිශේෂි ලක්ෂණ සහිත විශේෂ සංඝටක පවතින පොහොර ආවරණය වන බවය. කාබනික පොහොර වුවත් චීන සමාගම එහි විශේෂ සංඝටක පවතින බවට තහවුරු කළහොත් එම ප්‍රමිති තත්ත්වයෙන් චීන පොහොරත් ආවරණය විය හැකි බව ද ඔහු කියා සිටියේ ය.