විදේශිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

ආරක්ෂකයින්ගෙන් මිදී පලා යාමට තැත් කළ විදේශිකයෙකු ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට

by Staff Writer . 10-01-2022 | 11:40 AM

COLOMBO (NEWS1ST): ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් මගින් අබුඩාබි ඔස්සේ ප්‍රංශයේ පැරිස් නගරය වෙත පැන යාමට තැත් කළ ජාතිකත්වය හඳුනා නොගත් පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, පොලිසිය, ආගමන විගමන නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් කළ මෙහෙයුමකදී ය. සැකකරු අලුයම 02.45 ට අබුඩාබි සිට ප්‍රංශයේ පැරිස් වෙත යාම සඳහා ගුවන් යානයට පිවිසීමට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ ඇතැයි, අප වාර්තාකරු සඳහන් කළේ ය. වාර්තාකරු සඳහන් කළේ , ගුවන් ප්‍රවේශ පත්‍රය ද ලබා ගැනීමෙන් අනතුරුව , විගමන කවුළුව වෙත පැමිණ ඔහු ඉදිරිපත් කළ සීෂෙල්ස් ජාතික ගුවන් ගමන් බලපත්‍රය පිළිබඳව සැක සිතූ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් , සැකකරු දේශ සීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත තාක්ෂණික පරීක්ෂණ සඳහා යොමු කර ඇති බව ය. සැකකරුගෙන් ප්‍රශ්න කරමින් සිටින අතරවාරයේ, ඔහු ක්ෂණිකව එම ස්ථානයේ පළා ගොස් ඇති අතර, ආරක්ෂක අංශ නිලධාරීන් ඔහු පසු පස ලුහුබැඳ ඇති අතර, සැකකරු වහළකට නැග එහි සැඟවී සිටීමට උත්සහ දරා තිබේ. පසුව සැකකරු සැඟව සිටින ස්ථානයට ගුවන් හමුදා කර්මාන්ඩෝ භටයින් යොමු කර, ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව අප වාර්තාකරු සඳහන් කළේ ය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.