චීන විදේශ ඇමති ජනපති හමුවෙයි..

චීන විදේශ ඇමති ජනපති හමුවෙයි..

by Staff writer 09-01-2022 | 5:13 PM

COLOMBO (NEWS1ST):  චීන විදේශ අමාත්‍ය වෑන්ග් යී මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර හමුවක් අද(09) පෙරවරුවේ පැවැත්විය

ඒ, ජනාධිපති කාර්යාලයේදී ය. කොවිඩ් වසංගතයට මුහුණදීමේ දී චීනයෙන් ලැබුණු ද්‍රව්‍යමය හා මූල්‍ය ආධාර වෙනුවෙන් ජනාධිපතිතුමා ශ්‍රී ලංකා රජයේත්, ජනතාවගේත් ස්තුතිය විදේශ අමාත්‍යවරයා වෙත පිරිනැමුවේ ය. ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ, ජෛව බුබුළක් තුළ රඳවා ගනිමින් චීන සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමට සහය වන ලෙසය. කොවිඩ් වසංගතය හමුවේ පැන නැගී ඇති ආර්ථික අර්බුදයට විසඳුමක් ලෙස ණය ආපසු ගෙවීම ප්‍රතිව්‍යුහගත කිරීමට ඇති හැකියාව කෙරෙහි අවදානය යොමු කළ හැකි නම්, එය මෙරටට විශාල සහනයක් වනු ඇතැයි ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේ ය. චීනයෙන් සිදු කරන ආනයනවලදී සහනදායී වෙළෙඳ ණය ක්‍රමයක් ලබා ගැනීමට හැකි වෙතොත් බාධාවකින් තොරව කර්මාන්ත පවත්වාගෙන යාමට එය ඉවහල් වනු ඇතැයි ද ජනාධිපතිවරයා සඳහන් කළ බව, ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.