කසකස්ථාන ජනපතිගෙන් දැඩි නියෝගයක්

උද්ඝෝෂකයින්ට වෙඩි තබන්නැයි, කසකස්ථාන ජනපතිගෙන් ආරක්ෂක අංශවලට නියෝග

by Sagarika Chathumali 07-01-2022 | 4:43 PM

COLOMBO (News 1st) – ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල නිරත ආණ්ඩු විරෝධි උද්ඝෝෂකයින්ට අනතුරු ඇඟවීම්වලින් තොරව ම වෙඩි තබන ලෙස කසකස්ථාන ජනාධිපතිවරයා ආරක්ෂක අංශ වෙත නියෝග කර තිබේ.

ජනාධිපති කසිම්-ජොමාර්ට් පවසන්නේ, ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහි විරෝධතාවල කේන්ද්‍රස්ථානය වූ ඇල්මටිහි ප්‍රධාන නගරයට 20,000 ක පමණ වූ කොල්ලකරුවන් පහර දී ඇති බවයි. ජනාධිපතිවරයා මෙම පිරිස විදෙස් රටවලදී පුහුණුව ලැබූ ත්‍රස්තවාදීන් ලෙස හඳුන්වා ඇති නමුත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු හෙළි කිරීමක් සිදු කර නොමැත. මේ අතර කසකස්ථාන ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ, මේ දක්වා පැවති ප්‍රචණ්ඩ ක්‍රියා හමුවේ, සන්නද්ධ අපරාධකරුවන් 26 දෙනෙකු සහ ආරක්ෂක අංශයේ 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. මේ වනවිට රුසියාවෙන් සහ අසල්වැසි රටවලින් සාමසාධක හමුදාව කසකස්ථානයට කැඳවා ඇති අතර ජනාධිපතිවරයා පවසන්නේ, සිය ඉල්ලීම පරිදි පැමිණි විදෙස් බට කණ්ඩායම් තාවකාලිකව රට තුළ රැඳි සිටින බවයි. රුසියාවෙන් 2,500 කින් සමන්විත බට කණ්ඩායමක් පැමිණ සිටින අතර රුසියානු ජනාධිපතිවරයාට කසකස්ථාන ජනාධිපතිවරයා විශේෂ ස්තුතියක් ද පුද කර තිබේ. අපරාධකරුවන් සහ මිනීමරුවන් සමග මොන සාකච්ඡා දැයි විමසූ ජනාධිපති කසිම් විරෝධතාකරුවන් සමග සාකච්ඡා පැවැත්වීම සඳහා වන ඉල්ලීම් ප්‍රතික්ෂේප කරනු ලැබුවේ,ඒවා විකාර බව පවසමිනි. ඒ අනුව ඔවුන් විනාශ කළ යුතු බව අවධාරණය කරන ජනාධිපතිවරයා පවසන්නේ, එය ඉතා ඉක්මනින් සිදු කළ යුතුව ඇති බවයි. ඉන්ධන මිල ඉහළ දැමීම හමුවේ ආණ්ඩුවට එරෙහිව විරෝධතා පුළුල් වීමත් සමග කසකස්ථාන කැබිනට් අමාත්‍යවරු ඉල්ලා අස්වූ ද එරට ප්‍රචණ්ඩ ක්‍රියා තව තවත් දරණු වන්නට විය. උද්ගත වූ තත්ත්වය හමුවේ ඉන්ධන මිල ඉහළ දැමීමේ තීන්දුව ක්‍රියාත්මක කිරීම මාස හයකට කල්දැමීමට බලධාරීන් ක්‍රියා කළ ද ආණ්ඩු විරෝධි උද්ඝෝෂණ අවසන් කිරීමට එම තීන්දුවට හැකි වී නොමැත. ගෝලීය තෙල් සංචිතවලින් 3% ක්, ගල් අඟුරු සහ ගෑස්, විශාල ඛනිජ සම්පත් ඇති ප්‍රමාණයෙන් බටහිර යුරෝපයේ පිහිටි විශාලතම රට වන කසකස්ථානය උතුරින් රුසියාවට සහ නැගෙනහිරින් චීනයට මායිම්ව පවතී.