වැලිකඩ රැඳවියන් ඝාතන නඩුවේ තීන්දුව කල් යයි

වැලිකඩ රැඳවියන් ඝාතන නඩුවේ තීන්දුව කල් යයි

by Staff Writer . 06-01-2022 | 12:00 PM

COLOMBO (News 1st) – 2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේදී රැඳවියන් 8 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව හා හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා යන මහත්වරුන්ට එරෙහි නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම මෙම මස 12 වැනිදා දක්වා කල් තැබී ය.

නඩුවේ තීන්දුව අද දින ප්‍රකාශයට පත් කිරීමට දින නියම කර තිබුණ ද අධිකරණය කැඳවූ අවස්ථාවේ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ප්‍රකාශ කර සිටියේ නඩුවේ තීන්දුව ලබා දීම මෙම මස 12 වැනිදාට කල් තබන බවයි. ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි හා මංජුල තිලකරත්න යන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරිමට නියමිතයි. 2012 වසරේ නොවැම්බර් මස 09 වැනිදා සිදුවූ මෙම ඝාතන සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අධිචෝදනා ගොනු කර නඩු පවරනු ලැබුවේ 2019 ජූලි මස 04 වැනිදායි. නීතිපතිවරයා  මුල් අවස්ථාවේ මෙම නඩුවේ විත්තිකරුවකු ලෙස නම් කර සිටි බන්ධනාගාරයේ හිටපු බුද්ධි අංශ නිලධාරියකු වූ ඉන්දික සම්පත් නමැත්තා නඩු පවරන අවස්ථාව වන විටත් විදෙස්ගතව සිටි‌යේ ය. නඩු කටයුතු ආරම්භ කිරීමෙන් පසු ඔහු නොමැතිව නඩුව විභාගයට ගැනුණු අතර පැමිණිල්ලේ සාක්ෂිෂිඅවසානයේ විනිසුරු මඩුල්ල සඳහන් කර සිටියේ ඔහුට විරුද්ධව පැමිණිල්ලෙන් සාක්ෂි ඉදිරිපත් නොවන බවයි. ඒ අනුව එම විත්තිකරු නිදොස් කොට නිදහස් කළ විනිසුරු මඩුල්ල නි‌යොමාල් රංගජීව හා එමිල් රන්ජන් ළමාහේවා යන විත්තිකරුවන්ට එරෙහිව නඩුව ඉදිරියට විභාග කළේ ය. 2012 නොවැම්බර් 09 වැනිදා බන්ධනාගාරය තුළ වූ කැරැල්ල හේතුවෙන් රැඳවියන් 27 දෙනකු ඝාතනය වුවත් නීතිපතිවරයාට නඩු පැවරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත්ව තිබුණේ රැඳවියන් 08 දෙනෙකු ඝාතනය සම්බන්ධයෙන් පමණි.