පැය 24 ක් තුළ රිය අනතුරුවලින් 12 ක් මරුට..

පැය 24 ක් තුළ රිය අනතුරුවලින් 12 ක් මරුට..

by Staff writer 03-01-2022 | 10:20 AM

COLOMBO (News 1st) : ගතවූ පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් තිබේ.

පොලිසිය සඳහන් කළේ , නිවිතිගල - රත්නපුර මාර්ගයේ දෑල ප්‍රදේශයේදී යතුරුපැදියක් අනතුරට ලක් වීමෙන් 27 හැවිරිදි තරුණයෙකු මිය ගොස් ඇති බවයි. ඔහු ගමන් කළ යතුරු පැදිය වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටීමෙන් අනතුර සිදුව තිබේ. කැස්බෑව , බණ්ඩාරගම මාර්ගයේ වැල්මිල්ල ප්‍රදේශයේදී ඊයේ (02)අලුයම යතුරුපැදියක් අනතුරට ලක් වීමෙන් තරුණ යුවළක් මිය ගියේ ය. කුරුණෑගල , අඹේපුස්ස මාර්ගයේ මංගෙදර ප්‍රදේශයේදී ලංගම බස් රථයක ගැටීමෙන් මිය ගියේ 37 හැවිරිදි පුද්ගලයෙකි. බස් රථ රියැදුරුගේ අපරීක්ෂාකාරි හා නොසැලිකිලිමත් රිය ධාවනය අනතුරට හේතුවයි. පාදෙණිය - අනුරාධපුර මාර්ගයේ කුරුන්දන්කුලම ප්‍රදේශයේදී යතුරුපැදියක් හා වෑන් රථයක් ගැටීමෙන් 56 හැවිරිදි පුද්ගලයෙකු මිය ගියේ ය. බදුල්ල , මහියංගනය මාර්ගයේ කයිලගොඩ ඉන්ධන පිරවුම්හල අසලදී පදික මාරුව මතින් ගමන් කළ පුද්ගලයෙකු ලොරි රථයක ගැටී මිය ගොස් ඇතැයි පොලිසිය ප්‍රකාශ කළේ ය. කුරුදුවත්ත , සොයිසා වටරවුමේදී ත්‍රී රෝද රථ දෙකක් එකිනෙක ගැටී පෙරලීමෙන් සිදුවූ අනතුරකින් මිය ගොස් ඇත්තේ 72 හැවිරිදි පුද්ගලයෙකි. එම අනතුරින් තවත් 04 දෙනෙක් තුවාල ලැබූ හ. අක්කරපත්තුව කල්මුණ මාර්ගයේ අඩ්ඩාලච්චේන ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් මිය ගියේ 26 හැවිරිදි තරුණයෙකි. ඕපාත රජවංගල අතුරු මාර්ගයක ත්‍රී රෝද රථයක් අනතුරට ලක් වීමෙන් 67 හැවිරිදි කාන්තාවක් මිය ගියේ ය. පොලිසිය සඳහන් කළේ, වැලිඔය , කල්‍යාණිපුර අතුරු මාර්ගයේදී යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව ගසක ගැටීමෙන් 52 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් ඇති බවයි. කොළඹ - අවිස්සාවේල්ල මාර්ගයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල සිදුවූ රිය අනතුරකින් මිය ගියේ 24 හැවිරිදි තරුණයෙකි. මාල‍ඹේ නගරයේ යතුරු පැදියක් හා ත්‍රී රෝද රථයක් ගැටීමෙන් ද 24 හැවිරිදි තරුණයෙකු මිය ගොස් ඇතැයි පොලිසිය ප්‍රකාශ කළේ ය.