by Staff Writer . 03-01-2022 | 10:02 PM
COLOMBO (News 1st) : රජයේ පොහොර සමාගම් 2 ක සහ චීන්දාඕ සී වින්ග් සමාගම අතර ඇතිකරගත් එකඟතාවකට අනුව චීන පොහොර නැවට ගෙවීම් කිරීම වළක්වමින් කොළඹ වාණිජ මහාධිකරණය නිකුකර තිබූ ඒක පාර්ශ්වික වාරණ නියෝගය අද (03) ඉවත් කළේ ය.
එම එකඟතාවය අනුව මහජන බැංකුවේ ණයවර ලිපියට අනුව පොහොර තොගයේ වටිනාකමින් 75% ක් චින්දාවෝ සමාගම වෙත මුදා හරිනු ඇති.
කොළඹ කොමර්ෂල් පොහොර සහ ලංකා පොහොර සමාගම් අද පස්වරුවේ මෝසමක් ඉදිරිපත් කරමින් වාණිජ මහාධිකරණයට දැනුම් දුන්නේ දෙපාර්ශ්වය අතර කොන්දේසි සහිත එකඟතාවක් ඇතිකර ගත් බවයි.
එම එකඟතාවට අනුව චින්දාවෝ සමාගම විසින් අමුද්‍රව්‍ය සඳහා සහතිකය ලබාගෙන ඒවා ලබා දෙන අතර, පරීක්ෂා කිරීම සඳහා නව කාබනික පොහොර තොගයක නැවුම් සාම්පල සකස් කළ යුතු ය.
කොන්ත්‍රාත්තුවට අනුව, සාම්පල රෝග කාරකවලින් තොර විය යුතු අතර, 1999 අංක 35 දරන ශාක ආරක්ෂණ පනතට අනුකූල බව පරීක්‍ෂා කරන ලද සාම්පල අනාවරණය වූ පසු සහ ආනයන බලපත්‍රයක් ලබා ගැනීමෙන් පසුව පමණක් තොග නැව්ගත කළ යුතු ය.
චින්දාවෝ සමාගම දෙවන තොගය නැව්ගත කළ පසු මහජන බැංකුව අදාළ මුදල නිකුත් කිරීමට නියමිතයි.
ඉහත කොන්දේසිවලට යටත්ව වගඋත්තරකරුවන්ට එරෙහි ක්‍රියාමාර්ගය ඉල්ලා අස්කර ගැනීමට එකඟ වන බව පැමිණිලිකරුවෝ සිය මෝසම මගින් අධිකරණයට දැනුම් දුන්හ.
ආනයන බලපත්‍රයක් නොමැතිවීම හේතුවෙන් පළමු නැව්ගත කිරීම ආපසු ලැබුණු බව සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කිරීමටද දෙපාර්ශ්වය එකඟවී තිබේ.
මේ අතර තුන්වන වගඋත්තරකාර සමාගම වන චෙලීනා කැපිටල් කෝපරේෂන් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජී.ජී. අරුල්ප්‍රගාසම් මහතා කියා සිටියේ පැමිණිල්ලේ සදහන් අසත්‍ය, ද්වේෂ සහගත හා සාවද්‍ය චෝදනා ගැන අලාභ අයකර ගැනීම සඳහා නඩු පැවරීමේ අයිතිය රඳවා ගන්නා බවයි.
එවැනි අලාභ නඩුවක් ඉදිරිපත් කළ හොත් විත්ති වාචක ඉදිරිපත් කරන බව පැමිණිලිකාර සමාගම් අවධාරණය කළේ ය.
පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුසන්ත බාලපටබැදි මහතා අධිකරණයේ කරුණු දැක්වූ අතර මහජන බැංකුව වෙනුවෙන් කුෂාන් ද අල්විස් මහතාත් චීන සමාගම වෙනුවෙන් නිහාල් ප්‍රනාන්දු මහතාත් අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.