නව වසර පර්වර්තනීය වසරක් කරන්න ජනපතිගෙන් ආරාධනා..

නව වසර පරිවර්තනීය වසරක් බවට පත් කිරීමට එක්වන්නැයි ජනපතිගෙන් ආරාධනා..

by Staff writer 01-01-2022 | 6:20 AM

COLOMBO (News 1st):  ගෝලීය වසංගත තත්ත්වය ජනතා අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමේ ප්‍රගතියට අහිතකර ලෙස බලපා ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිතුමා පැවසුවේ , එසේ වුවද වර්තමානයේදී ජාතික ආරක්ෂාව සහ සහජීවනය තවදුරටත් තහවුරු වී තිබෙන බවය. නව ප්‍රතිසංස්කරණ රාශියක් සකස් වෙමින් පවතින අතර අකර්මණ්‍යව පැවැති රාජ්‍ය සංවර්ධන ව්‍යාපෘති සහ වැඩසටහන් නැවත ක්‍රියාත්මක කිරීමටත්, ඒවා ජනතා අයිතියට පත් කිරීමටත් මෙම රජය විසින් පියවර ගෙන ඇති බව ජනාධිපතිතුමා සඳහන් කළේ ය. ජනාධිපතිතුමා ඒ බව පැවසුවේ, නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ය. කොවිඩ් වසංගතය හමුවේ ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවිත කෙරෙහි එල්ල වූ හානිකර තත්ත්වයන් සම්බන්ධයෙන් රජය ගත් පියවර ගෝලීය පැසසුමටද ලක්වූ බව පෙන්වා දෙන ජනාධිපතිතුමා පැවසුවේ, වසංගත තහංචි මධ්‍යයේ පවා ඔබ අද භුක්තිවිඳින නිදහස මෙරට ජනතාව විසින් කරන ලද අපරිමිත කැපකිරීම්වල ප්‍රතිඵලයක් බවට තමන් සතුටින් සඳහන් කරන බවයි. ජනතාව පීඩාවට පත්වීමට තුඩුදුන් පදනම් විරහිත දේශපාලන අරගල රටට ආදරය කරන බහුතර ජනතාව විසින් ප්‍රතික්ෂේප කිරීම ජනතාව රජය කෙරෙහි තබා ඇති විශ්වාසය තහවුරු කිරීමක් බව ද ජනධිපතිතුමා සඳහන් කළේ ය. නව වසර ජනතාවට සෞභාග්‍යයේ දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා කැපවන පරිවර්තනීය වසරක් බවට පත් කරන ලෙස ඔබට සැමට ආරාධනා කරන කරන බව ද, ජනාධිපතිතුමා නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයේ සඳහන් ය.