රිය අනතුරුවලින් දරුවෙකු ඇතුළු 5 දෙනෙකු මියයයි

රිය අනතුරුවලින් දරුවෙකු ඇතුළු 5 දෙනෙකු මියයයි

by Staff Writer . 29-12-2021 | 10:54 AM

COLOMBO (News 1st) :  ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් කුඩා ළමයෙකු ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, ගිරිබාව, බුලත්සිංහල, ගම්පහ, දඹුල්ල හා අක්කරෙයිපත්තුව යන පොලිස් බල ප්‍රදේශවල මෙම රිය අනතුරු සිදුව ඇති බවයි. අක්කරෙයිපත්තුව කල්මුණේ මාර්ගයේ අඩ්ඩාලච්චේනෙයි ප්‍රදේශයේදී කැබ් රථයක ගැටීමෙන් අවුරුදු දෙකක් වයසැති කුඩා දරුවෙකු මියගොස් තිබේ. නොසැලකිලිමත් ලෙස රිය ධාවනය නිසා අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. තම්මැන්නාව මැදගම මාර්ගයේදී අත් ට්‍රැක්ටරයක් මාර්ගයෙන් ඉවතට පැන පෙලිමෙන් සිදූවූ අනතුරකින් 20 හැවිරිදි ගිරිබාව කටුපොතාන ප්‍රදේශයේ තරුණයෙකු මියගොස් තිබේ. බුලත්සිංහල දවටගහ පාර ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලීමෙන් මියගොස් ඇත්තේ 46 හැවිරිදි පුද්ගලයෙකි. ගම්පහ මොරුපොල ප්‍රදේශයේදී යතුරු පැදියක් වේගය පාලනය කර ගත නොහැකිව විදුලි කණුවක ගැටීමෙන් 33 හැවිරිදි බෙම්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ජීවිතක්ෂයට පත්විය. පොලීසිය පැවසුවේ, දඹුල්ල ඇටමුල හන්දිය අසලදි යතුරු පැදියක් වේගය පාලනය කර ගත නොහැකිව ගසක ගැටී අසල පිහිටි ඇළ මාර්ගයට වැටි එහි ගමන් ගත් 14 හැවිරිදි දඹුල්ල අරැව්වල ප්‍රදේශයේ පදිංචි දරුවෙකු මියගොස් ඇති බවයි. මේ අතර අද උදෑසන පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය සඳහන් කළේ, කාන්තාවක් පැදවූ සුඛෝපභොගි ජිප් රථයකට යටවීමෙන් ඔහු මියගොස් ඇති බවයි. කාන්තාවට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසී ය. අනතුරින් මියගොස් ඇත්තේ 52 හැවිරිදි බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. පොලීසිය සඳහන් කළේ, රිය පැදවූ 52 හැවිරිදි කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බවයි.