by Staff Writer . 29-12-2021 | 9:23 AM
COLOMBO (News 1st) : කටාන, කිඹුලාපිටිය, දාගොන්න ප්‍රදේශයේදී සැහැල්ලු ගුවන්යානයක් අනතුරට ලක්වීම පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා මූලික විමර්ශන මණ්ඩලයක් පත්කර තිබේ.
සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කැප්ටන් තේමිය අබේවික්‍රම මහතා සඳහන් කළේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඒ සඳහා පත්කර ඇති බවයි.
අනතුරට පත් ගුවන් යානය රත්මලාන ගුවන්තොටුපළෙන් පිටත්විමේ සිට ක්‍රියාදාමය එම පරීක්ෂණ කමිටුව නිරීක්ෂණය කරනු ඇති.
ගුවන්යානයේ අනතුරට ලක් වූ ස්ථානයත් නිරීක්ෂණය කර එම තොරතුරු සටහන් කරගනිමින් පවතින බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය.
තවත් නිලධාරී කණ්ඩායමක් අදාළ සමාගමේ ප්‍රධාන කාර්යාලයේ නිලධාරින්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර ලිපි ලේඛන ද පරීක්ෂාවට ලක් කර තිබේ.
ඉදිරි දින දෙක තුළ ගුවන් යාන අනතුර පිළිබඳ පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි ඔහු ප්‍රකාශ කළේ ය.
අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ, පරීක්ෂණ අවසන් වන තුරු එම ගුවන් සමාගමේ ගුවන් මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.
සැහැල්ලු ගුවන් යානයක් පසුගිය 27 වැනිදා අනතුරට ලක්වීමෙන් එහි සිටි විදේශීය යුවලක් ඇතුළු හතර දෙනෙකු තුවාල ලැබී ය.
අනතුර සිදුව ඇත්තේ ගුවන් යානය වෙළට ගොඩබස්වන අවස්ථාවේ අසල මාර්ගයක ගැටී පෙරළීමෙන් බව පොලිසිය පැවසී ය.
අනතුරෙන් තුවාල ලැබූ ගුවන් නියමුවා, නියමුවරිය හා ලෙබනන් ජාතික සංචාරක යුවල මීගමුව මහ රෝහලට ඇතුළත් කෙරිණ.