කුළුබඩු අලෙවි මණ්ඩලයේ ශාඛාවක් ජනපතිගේ නිරීක්ෂණයට

කුළුබඩු අලෙවි මණ්ඩලයේ මාදිවෙල ශාඛාව ජනපතිගේ නිරීක්ෂණයට

by Staff Writer . 28-12-2021 | 3:18 PM

COLOMBO (News1st) :  කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ මාදිවෙල ශාඛාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක්ව තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ - ගම සමග පිළිසඳර - වැඩසටහන සඳහා මීමුරේ ප්‍රදේශයට පැමිණි අවස්ථාවේ දී එම ප්‍රදේශවාසීන් කළ ඉල්ලීමකට අනුව මෙම අලෙවි මණ්ඩලය යළි ක්‍රියාත්මක කරවීමට ජනාධිපතිවරයා පියවර ගත් බවයි. ඒ අනුව දුෂ්කර ප්‍රදේශවල ගොවීන්ගේ නිෂ්පාදන අලෙවිය හා ප්‍රවර්ධනයට විසඳුමක් ලෙස පසුගිය අගෝස්තු මාසයේදී කුළුබඩු අලෙවි මණ්ඩලය ස්ථාපනය කෙරිණ. 1972 වර්ෂයේ ස්ථාපනය කරන ලද මෙම ආයතනය ජනාධිපතිවරයාගේ අවධානයට ලක්වන තෙක් පැවතියේ ලේඛනයකට පමණක් සීමා වූ නිද්‍රාශීලී ආයතනයක් ලෙසයි. ගොවියාට උපරිම මිලක් පාරිභෝගිකයාට සහනයක් මෙන්ම ගුණාත්මක කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සඳහා විදේශ වෙළෙඳපොළ අවකාශය සලසා දීම, වෙළෙඳපොළ පර්යේෂණ, සම්බන්ධීකරණය, නියාමනය, පෝෂණ සහ ඖෂධීය ගුණය පවත්වා ගැනීම ඇතුළු අරමුණු රැසකට විධිමත් පිළියම් ලබාදීමට රජය එමගින් අපේක්ෂා කරයි. කුළුබඩු අලෙවි මණ්ඩලය මාස හතරක කෙටි කාලය තුළ බත්තරමුල්ල, මාදිවෙල, නුගේගොඩ, පඹහින්න, රත්නපුර, කලවාන, කිරිඇල්ල, කොටාමුල්ල සහ පල්ලෙබැද්ද යන නගරවල ශාඛා 10ක් පිහිටුවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. එහි 11 වන ශාඛාව ලබන 31 වනදා සෙවණගල නගරයේ විවෘත කිරීමට නියමිතයි. දේශීය කුළුබඩු සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළ අවස්ථා ලබාගැනීමට මේ වන විටත් නයිජීරියාව, ප්‍රංශය, රුසියාව, කැලිෆෝනියාව, බංග්ලාදේශය, ජපානය ආදී රටවල් සමග සාකච්ඡා කර තිබේ.