ණය පහසුකම් මත බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000ක්

සිංගප්පූරුවෙන් ණය පහසුකම් මත බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000ක්..

by Staff writer 26-12-2021 | 9:38 PM

COLOMBO (News 1st) – සිංගප්පූරුවේ සැපයුම්කරුවෙකුගෙන් ණය පහසුකම් මත ලබන මාසයේදී බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000ක් ආනයනය කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කළේ, ජනවාරි 23 හෝ 24 දෙදින තුළ එම බොරතෙල් තොගය මෙරටට ලැබීමට නියමිත බවයි. ඉදිරි මාස 06ක කාලය තුළ බොරතෙල් මෙට්‍රික් ටොන් 540,000 ක් ආනයනය කරන බව සභාපතිවරයා ප්‍රකාශ කළේ ය. මෙම මිලදී ගැනීම් රාජ්‍ය බැංකුවක් විසින් විවෘත කරන ලද ණයවර ලිපි හරහා ණය මත සිදු කෙරන්නකි. ණයවර ලිපිවල ලැයිස්තුගත කර ඇති කොන්දේසි මත පදනම්ව ගෙවීම් කරන දිනය තීරණය කෙරෙනු ඇති බව ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. මේ අතර, ඉන්ධන ආනයනය කිරීම සඳහා තමන්ගේම ණයවර ලිපි විවෘත කරන ලෙස ඛනිජ තෙල් සංස්ථාව ලංකා විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලා තිබේ. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා ප්‍රකාශ කළේ, මීට පෙර මිලදී ගත් ඉන්ධන වෙනුවෙන් විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 90 ක මුදලක් ඛනිජ තෙල් සංස්ථාවට ණය වී ඇති බවයි. ඒ අනුව ඔවුන් වෙනුවෙන් ණයවර ලිපි විවෘත කළ නොහැකි බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විදුලිබල මණ්ඩලයට දැන්වූ බව ඔහු ප්‍රකාශ කළේ ය. ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එම්.ආර්.රණතුංග මහතා
අපට ඇත්තටම ඩොලර්වලින් ගිණුම් නැහැ. අපිට ණයවර ලිපි නිකුත් කරනකොට අපි ආයිත් උදව් ලබා ගන්න වෙන්නේ මහජන බැංකුවෙන්. ඩීසල් වාගේ ඒවගේම දැවිතෙල් වාගේ ඉන්ධන ගේන්න අවසරයකුත් නෑ ඒක කරන්න ඕන පෙට්‍රොලියම් කෝපරේෂන් එකම තමයි ඉතිං අපි බැංකු මත යැපෙනවා අපේ ඩොලර් සංචිතය සොයා ගැනීම සඳහා.