ප්‍රියන්ත වෙනුවෙන් යෝජනාවක් අනුමත වෙයි..

ප්‍රියන්ත කුමාර ඝාතනය හෙළා දකින යෝජනාවක් පකිස්ථාන සෙනෙට් සභාවේදී අනුමත වෙයි..

by Staff writer 26-12-2021 | 8:55 PM

COLOMBO (News 1st) – ශ්‍රී ලාංකිකයෙකු වන ප්‍රියන්ත කුමාර මහතා පකිස්ථානයේ සියල්කොට්හීදි ඝාතනය කිරීම හෙළා දකින යෝජනාවක් පකිස්ථාන සෙනෙට් සභාවේදී සභාගත කර ඒකමතිකව අනුමත කර තිබේ.

මේ මස මුලදී, සියල්කොට්හි මැර පිරිසක් කම්හලක අපනයන කළමනාකරුවෙකු ලෙස සේවය කළ ප්‍රියන්ත කුමාර මහතාට වධ හිංසා පමුණුවා ඔහුගේ සිරුර පුළුස්සා දමා තිබුණි. එවැනි ම්ලේච්ඡ ක්‍රියාවන් සමග ආගමේ සම්බන්ධයක් නොමැති බවත් සිද්ධියට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් එම යෝජනාවේ සඳහන් කර තිබේ. "මෙම බිහිසුණු ම්ලේච්ඡත්වයේ අවාසනාවන්ත සිදුවීම පිළිබිඹු කරන්නේ, පකිස්ථානයේ සාමකාමී ප්‍රතිරූපය පමණක් නොව ඉස්ලාම් දහම ද කැළැල් කර ඇති අපේ සමාජයේ පවතින අන්තවාදී කොටස්වල මානසිකත්වයයි" යනුවෙන් අදාළ යෝජනාවේ සඳහන් වන බව පකිස්ථාන මාධ්‍ය අනාවරණය කළේ ය. ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලට සහ ශ්‍රී ලංකාවාසී ජනතාවට ද යෝජනාවෙන් ශෝකය පළ කර තිබේ. "සමාජයේ ප්‍රචණ්ඩකාරී ප්‍රවණතා මුලිනුපුටා දැමීම සහ ප්‍රතිරෝධය දැක්වීම සඳහා පකිස්ථාන රජය වහාම පරිපාලන, නීතිමය සහ දැනුවත් කිරීමේ පියවර ගත යුතුය" යනුවෙන් යෝජනාවෙන් ඉල්ලා ඇතැයි එරට මාධ්‍ය අනාවරණය කළේ ය.