ව්‍යාපාරිකයෙකුගේ දේපළ වෙන්දේසියක් වළකමින් නියෝගයක්

කොවිඩ් නිසා අපහසුතාවට ව්‍යාපාරිකයෙකුගේ දේපළ වෙන්දේසි කිරීම වළකමින් මහජන බැංකුවට වාරණ නියෝගයක්

by Staff Writer . 21-12-2021 | 3:52 PM

COLOMBO (News1st) : කොවිඩ් වසංගතය හේතුවෙන් ආර්ථික අපහසුතාවයට පත් ගල්නෑව සහල් ව්‍යාපාරිකයෙකුගේ දේපළ වෙන්දේසි කිරීම වළක්වමින් මහජන බැංකුවට කොළඹ දිසා අධිකරණය අද (21) වාරණ නියෝගයක් නිකුත් කළේ ය.

කොවිඩ් වසංගතය හේතුවෙන් අපහසුතාවට පත් ව්‍යාපාරිකයින්ට සහන සලසන්නැයි, ශ්‍රී ලංකා මහ බැංකුව චක්‍රලේඛ නිකුත් කර තිබියදී එම චක්‍රලේඛ උල්ලංඝනය කරමින් දේපළ ලබන 30 වෙනි දින වෙන්දේසි කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම වාරණය නිකුත් කෙරිණ. ගල්නෑව, නෑගම්පහ පදිංචි සහල් ව්‍යාපාරිකයකු වූ සංජීව විජේසුන්දර මහතා සිය නීතිඥ අරුණ රණසිංහ මහතා මගින් මෙම පෙත්සම ගොනු කර තිබිණ. පෙත්සමසම සම්බන්ධයෙන් ඒකපාර්ශවීයව කරුණු සලකා බැලූ ප්‍රධාන දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා විත්තිකාර බැංකුවට ජනවාරි 4 වන දින අධිකරණය හමුවේ කරුණු දැක්වීමට ද නියෝග කළේ ය. ගනුදෙනුකරුවන්ට සහන සලසන්නැයි, ශ්‍රී ලංකා මහ බැංකුව හා රජය තීන්දු තීරණ ගෙන තිබියදී එය නොතකා හරිමින් විත්තිකාර බැංකුව දේපළ වෙන්දේසි කිරීමට කටයුතු කිරීමෙන් මහත් අගතියක් ගනුදෙනුකරුවන්ට සිදුවන බවත් පෙත්සම්කරු වෙනුවෙන් කරුණු දක්වමින් නීතීඥ රණසිංහ මහතා අධිකරණයට පැවසී ය.