ඛනිජ තෙල් සංස්ථාව ගුවන් සේවයෙන් ඩොලර් ඉල්ලයි

ගුවන් යානා ඉන්ධන සඳහා ඛනිජ තෙල් සංස්ථාව ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් ඩොලර් ඉල්ලයි..

by Staff writer 20-12-2021 | 7:00 AM

COLOMBO (News 1st) – ගුවන් යානා වෙනුවෙන් ඉන්ධන නිකුත් කිරීම සඳහා ඩොලර් ලබා දෙන්නැයි, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ශ්‍රීලංකන් ගුවන් සේවයට දැනුම් දී තිබේ.

බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ, මේ වනවිටත් ශ්‍රීලංකන් ගුවන් සේවය, ඉන්ධන සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඩොලර් මිලියන 330 ක් ගෙවීමට ඇති බවය. එහෙත්, පවතින තත්ත්වය මත, ඉදිරියේදී ගුවන් යානා සඳහා අවශ්‍ය ඉන්ධන වෙනුවෙන් හෝ ඩොලර් ලබා දෙන්නැයි, නිල වශයෙන් දැනුම් දී ඇතැයි අමාත්‍යාංශය සඳහන් කළේ ය. කෙසේ වෙතත්, ඉදිරි ඉන්ධන අවශ්‍යතා වෙනුවෙන් ඩොලර් ලබා දෙන බවට ශ්‍රීලංකන් ගුවන් සමාගම මේ වනවිට සිය එකඟතාව පළ කර ඇතැයි අප කළ විමසීමකදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ ය. මේ අතර, විදුලි බල මණ්ඩලයේ දැවිතෙල් අවශ්‍යතා සඳහා ද ඩොලර් අවශ්‍ය බැවින් ඒ වෙනුවෙන් සුදුසු ක්‍රමවේදයක් සකස් කරන්නැයි බලශක්ති අමාත්‍යාංශය දැනුම් දී තිබේ.