සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වැසෙන ලකුණු

නව වසරේදී සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වැසෙන ලකුණු

by Staff writer 19-12-2021 | 12:29 PM
 

COLOMBO (News 1st) - සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වසා දැමීමේ අවදානමක් මතුව තිබේ .

බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ, තෙල් පිරිපහදුව සඳහා ඇණවුම් කළ බොරතෙල් මෙරටට ළඟා වීමේ ප්‍රමාදයක් හේතුවෙන් එම අවදානම මතුව ඇති බව ය. බොරතෙල් ඇණවුම් කර මෙරටට ගෙන්වීමට සාමාන්‍යයෙන් ගතවන කාලය දින 90 කි. පසුගිය සමයේ විදේශ විනිමය ගැටලුව හේතුවෙන් බොරතෙල් ඇණවුම් කිරිම ප්‍රමාද වූ බව එම අමාත්‍යාංශය සඳහන් කළේ ය. ඒ අනුව දැනට ඇණවුම් කර ඇති බොරතෙල් ලබන ජනවාරි 25 වැනිදා වනවිට පමණ මෙරටට ලැබීමට නියමිත ය. එම තත්ත්වය තුළ බොරතෙල් මෙරටට ලැබෙන තුරු ජනවාරි මුල් සතියේ සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමේ අවදානමක් මතුව ඇතැයි බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ ය. කෙසේ වෙතත් තෙල් පිරිපහදුව සඳහා දැනට යොදා ගන්නා බොරතෙල් වර්ගයට සමාන වෙනත් බොරතෙල් වර්ග 02ක් සඳහා ටෙන්ඩර් කැඳවා ඇති අතර එම බොරතෙල් ලබා ගැනීමට හැකි වුවහොත් පිරිහපදුව වසා දැමීමේ අවශ්‍යතාවක් නොමැති බව ද අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය .