by Staff writer 18-12-2021 | 9:30 PM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකාව දිගු කාලීන විදේශ විනිමය පියවීම පැහැර හැරීමේ අවදානමක පවතින බවට ෆිච් ජාත්‍යනතර ණය ශ්‍රේණිගත කිරීම ආයතනය අනතුරු අඟවා තිබේ.
ඔවුන් මේ අනතුරු ඇඟවීම කරන්නේ , ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම්වල CCC තත්ත්වයේ සිට CC තත්ත්වය දක්වා පහත දමමින් ය.
ෆිච් ණය ශ්‍රේණිගත කිරීම්වල CC තත්ත්වයෙන් කියැවෙන්නේ විදේශ විනිමය ආපසු ගෙවීම් පැහැර හැරීමේ වැඩි ඉඩක් ඇති බවයි.
ෆිච් ජාත්‍යනතර ණය ශ්‍රේණිගත කිරීම ආයතනය ශ්‍රී ලංකාව මෙලෙස ශ්‍රේණිගත කිරිම් පහත දමා ඇත්තේ ලබන වසරේ ජනවාරී මාසයේ දී ඇ. ඩො. මිලියන 500 ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ආපසු ගෙවිය යුතුව තිබෙන පසුබිමක ය.
මීට අමතරව ලබන වසරේ ජූලි මාසයේ ඩොලර් බිලියනයක ස්වෛරී බැඳුම්කරයක් ද ආපසු ගෙවිය යුතුයි.
ෆිච් ණය ශ්‍රේණිගත කිරීම් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ශ්‍රී ලංකාව ලබන වසර තුළ පමණක් ණය වාරික හා පොළී ගෙවීමට ඇ. ඩො. බිලියන 6.9 ක් වෙන් කළ යුතුව ඇති බවයි.
එය මේ වසරේ නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාව සතුව පවතින දළ විදේශ සංචිත ප්‍රමාණය මෙන් සීයට 430 ක ප්‍රමාණයකි.
මේ වනවිට ශ්‍රී ලංකාවේ දළ විදේශ සංචිත ප්‍රමාණය ඩො. බිලියන 1.6 ක දක්වා අඩු වී තිබේ.
ෆිච් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් ආයතනය පවසන්නේ, ශ්‍රී ලංකාවට විදේශීය විනිමය ලබා ගත හැකි මාර්ග සහ කාලය පිළිබඳව අපැහැදිලි තත්ත්වයක් පවතින බවයි.
ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා ප්‍රකාශයට පත් කළ සය මාසික මාර්ග සිතියමට අනුව ද්වි පාර්ශ්වික සහ බහු පර්ශ්වික මූලාශ්‍රවලින් මෙන්ම ඌණ උපයෝජිත වත්කම් මගින් ද ලබන වසරේ පළමු කාර්තුව තුළ ප්‍රමාණවත් විදෙස් සංචිත උපයාගත හැකි බව පෙන්වා දී තිබුණි.
එම සැලැස්ම යටතේ මහජන චීන බැංකුවෙන් ඩො. බිලියන 1.5 ක විනිමය හුවමාරු පහසුකමක් ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.
නමුත් ෆිච් ජාත්‍යනතර ණය ශ්‍රේණිගත කිරීම් ආයතනය පවසන්නේ, චීනයෙන් ලැබෙන මුදලින් ශ්‍රී ලංකාවේ විදේශ සංචිත මත ඇති කර තිබෙන පීඩනය ලිහිල් කරනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බවය.
ඊට අමතරව
ඉන්දියාවෙන් ආර්ථික සහන පැකේජයක්,
දකුණු ආසියානූ කලාපීය සහයෝගීතාවයෙන් ඩො. මිලිනය 400 ක විනිමය පහසුකමක්,
කටාර් මහ බැංකුවෙන් තවත් විනිමය හුවමාරු පහසුකමක්
ඇතුළු මාර්ග රැසක් ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී ඇතත් ලබන වසරේ ණය ගෙවීම අභියෝගයක් වනු ඇති බවට ෆිච් ණය ශ්‍රේණිගත කිරීම් ආයතනය විශ්වාසය පළ කරයි.
ෆිච් ආයතනය පැවසුවේ, 2020 සිට මේ දක්වා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රුපියල ද සීයට 7 ක් 8 ක් ප්‍රමාණයකින් අවප්‍රමාණය වී ඇති බවයි.
මහබැංකුව මැදිහත් වී රුපියල් අවප්‍රමාණය වීම පාලනය කළත් එය ද සංචිත අඩු වීමට හේතු වී ඇති ෆීච් ආයතනට පෙන්වා දෙයි.
මේ සියලු තත්ත්වයන් සැළකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව මෙලෙස පහත හෙළිමට ෆිච් ජාත්‍යනතර ණය ශ්‍රේණිගත කිරීම් ආයතනය කටයුතු කර තිබේ.