by Staff writer 18-12-2021 | 5:08 PM
COLOMBO (News 1st) : මඩකලපුව දිසා විනිසුරුවරයාගේ නිවසකට ඇතුළු වූ කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් 04ක් යොදවා තිබේ.
අම්පාර ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, නැගෙනහිර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු ඉහළ නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ විමර්ශන ක්‍රියාත්මක බවය.
දිසා විනිසුරුවරයාගේ බිරිඳට අයත් අක්කරේපත්තුව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික නිවසට කොල්ලකරුවන් පැමිණ ඇති අතර බිරිඳ සතු රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා රන් තැල්ලක් පැහැර ගෙන ගොස් ඇතැයි විමර්ශනවලදී අනාවරණයවී තිබේ.
පොලීසිය පැවසුවේ, සිද්ධිය වන අවස්ථාවේ දිසා විනිසුරුවරයාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා නිවසේ නොසිට ඇත්තේ, දිසා විනිසුරුවරයා අදාල නිලධාරියා එම ස්ථානයට නොකැඳවීම නිසා බවය.
විනිසුරුවරයාගේ නිල නිවසට පූර්ණ ආරක්ෂවක් යොදවා තිබුණ ද , පෞද්ගලික නිවස සඳහා එලෙස ආරක්ෂාවක් ලබා නොදෙන බව ද පොලීසියේ උසස් නිලධාරියා සඳහන් කළේ ය.
කොල්ලකරුවන් දෙදෙනෙකු සිද්ධියට සම්බන්ධ වී ඇති බවට දැනට අනාවරණයවී ඇති අතර ඔවුන් අද අලුයම දෙකෙන් පමණ පසුව නිවස ඉදිරිපිට පොල් ගසකින් නිවසට ඇතුළු වී ඇති බවට ද අනාවරණය වී තිබේ.
පොලීසිය පැවසුවේ සැකකරුවන් කවුරුන්ද යන්න මෙතෙක් නිශ්චිතව හඳුනා ගෙන නොමැති බවය.
මේ අතර කොල්ලකරුවන් පළා යන අවස්ථාවේ ඔහු අල්ලා ගැනීමට විනිසුරුවරයා උත්සාහ දරා ඇති අතර එහිදී විනිසුරුවරයා සුළු තුවාල ලබා ඇතැයි ද පොලීසිය සඳහන් කළේ ය.