විමල්, වාසු, ගම්මන්පිල ගැන නීතිපති කළ දැනුම්දීම

විමල්, වාසු, ගම්මන්පිල LNG ගිවිසුමට එරෙහි වී කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩලා නීතිපති අධිකරණයට දන්වයි..

by Staff writer 17-12-2021 | 9:07 PM

COLOMBO (News 1st) : අමෙරිකානු සමාගමක් සමග සිදු කිරීමට සූදානම්වන එල්.එන්.ජී. ගනුදෙනුව මේ වනවිට විවාදාත්මක තත්ත්වයකට පත්ව තිබේ.

කෙරලවලපිටිය, යුගදනවි බලාගාරයේ කොටස් සියයට 40 ක් නිව්ෆෝට්‍රස් නමැති අමෙරිකානු සමාගමට විකිණීම ඇතුළු එල්.එන්.ජී. ගනුදෙනුව පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 5 අද නැවතත් විමසා බැලිණ. කැබිනට් මණ්ඩලය ද වගඋත්තරකරුවන් කරමින් ගොනු කළ මේ පෙත්සම්වලට සහය වන අයුරින් වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල හා විමල් වීරවංශ යන අමාත්‍යවරුන් පසුගියදා විරෝධතා ගොනු ක‌ළේ ය. මේ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ අද කරුණු දැක්වූ නීතිපති සංජය රාජරත්නම් මහතා කියා සිටියේ මේ අමාත්‍යවරුන් ගොනු කර ඇති දිවුරුම් ප්‍රකාශ ව්‍යවස්ථා විරෝධී බවයි. ඔවුන් අමාත්‍ය මණ්ඩලයේ සාමූහික වගකීම පැහැර හැර ඇති බව ද නීතිපතිවරයා කියා සිටියේ ය. නීති විරෝධී ලේඛන ඉදිරිපත් කරමින් අධිකරණයෙන්, ව්‍යවස්ථාමය නියෝගයක් ලබා ගැනීමට උත්සාහ කිරීම බරපතළ තත්ත්වයක් බව පෙන්වා දුන් නීතිපතිවරයා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා සිටියේ ඒ පිළිබඳව දැඩි ලෙස සැලකිල්ලක් යොමු කරන ලෙසයි. ඇමතිවරුන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කළ ලේඛන පිළි නොගන්නා ලෙසද ඔහු ඉල්ලීමක් කළේ ය. අමාත්‍යවරුන් තිදෙනා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා එහිදී පෙන්වා දුන්නේ, මෙම කරුණට අදාළව කැබිනට් සංදේශයක් කැබිනට් මණ්ඩලයේදී සම්මත නොවූ බවයි. විරෝධයක් හෝ අදහස් දැක්වීම සඳහා ඇමතිවරුන්ට ප්‍රමාණවත් කාලයක් ලබා දෙමින් එම පත්‍රිකා ඉදිරිපත් නොවූ බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ ය. කැබිනට් මණ්ඩල ලේකම්වරයාට එම කැබිනට් පත්‍රය ලැබී තිබුණ බවට සඳහන් වුවත් විමල් වීරවංශ අමාත්‍යවරයාට එය නොලැබුණ බවද ඉගලහේවා මහතා කියා සිටියේ ය. පෙත්සම් යළි සළකා බැලීම ලබන ජනවාරි 10, 12 සහ 13 දිනයන්ට කල් තැබිණ.