ලිට්ට්‍රෝ සමාගමෙන් පොරොන්දුවක්

ගෑස් සිලින්ඩර් නිකුත් කිරීමට අදාළව ලිට්ට්‍රෝ සමාගමෙන් පොරොන්දුවක්

by Staff Writer . 16-12-2021 | 1:19 PM

COLOMBO (News 1st) –  පාරිභෝගික කටයුතු අධිකාරිය හා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය අනුමත කරන ගෑස් සිලින්ඩර පමණක් වෙළඳපොළට නිකුත් කරන බව ලිට්ට්‍රෝ ගෑස් සමාගම දිවුරුම් පෙත්සම් දෙකක් ඉදිරිපත් කරමින් අභියාචනාධිකරණයට අද පොරොන්දු විය.

එම දිවුරුම් ප්‍රකාශවල සඳහන් කර තිබුණේ එම ගෑස් සිලින්ඩරවල අඩංගු සංයුතිය පිළිබඳ විස්තරයක් ගෑස් සිලින්ඩරයේ ප්‍රදර්ශනය කරන බවයි. ලිට්ට්‍රෝ සමාගම මෙම දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කළේ ගෑස් සිලින්ඩර බෙදාහැරීම් පිළිබඳව ගනු ලබන ඉදිරි පියවර සම්බන්ධයෙන් කරුණු දන්වන ලෙස අභියාචනාධිකරණය ඊයේ කළ නියෝගයකට අනුවයි. අනාරක්ෂිත ගෘහස්ත ගෑස් සිලින්ඩර් බෙදා හැරීමට කටයුතු කළ ගෑස් සමාගම් හා වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව අපරාධ නීතිමය යටතේ නීතිමය පියවර ගන්නා ලෙස නියෝග කරන්නැයි ඉල්ලා නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ගොනු කරන ලද රිට් පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී මෙම දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කෙරිණ. පරිහරණය කරන ගෘහස්ත ගෑස් සිලින්ඩර මගින් පාරිභෝගිකයාට හානි විය හැකි බැවින් එම සිලින්ඩර නැවත ලබාගැනීමේ අතුරු නියෝගයක් කරන ලෙසට පෙත්සම්කරු අද කළ ඉල්ලීමට ගෑස් සමාගම් විරුද්ධත්වය පළ කර සිටියේ ය. රුවන් ප්‍රනාන්දු සහ සම්පත් විජේරත්න යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එහිදී තීරණය කළේ, ඉල්ලා ඇති අතුරු නියෝග සම්බන්ධයෙන් නියෝගය හෙට ප්‍රකාශ කිරීමටයි