චීන පොහොර නැවට ගෙවීම් කිරීමට කැබිනට් පත්‍රිකාවක්

දෙපාර්ශ්වයට පාඩුවක් නොවන ලෙස චීන පොහොර නැවට ගෙවීම් කිරීමට කැබිනට් පත්‍රිකාවක්

by Staff Writer . 14-12-2021 | 7:50 AM

COLOMBO (News 1st); දෙපාර්ශවයටම පාඩුවක් නොවන ආකාරයට චීන කාබනික පොහොර තොගය සඳහා ගෙවීම් සිදු කිරීමට අදාළව කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.

එම කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ අධිකරණ අමාත්‍ය අලි සබ්ලි මහත්වරු විසිනි. නීතිපතිවරයාගේ උපදෙස් මත මෙම කැබිනට් පත්‍රිකා දෙක ඉදිරිපත් කර තිබේ. මේ පිළිබඳව රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකුගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ, එවැනි කැබිනට් පත්‍රිකාවක් ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ බවයි. චීන කාබනික පොහොර නැවට ඩොලර් මිලියන 08 කට ආසන්න මුදලක් ගෙවිමට අදාළ කැබිනට් පත්‍රිකා දෙකක් ඊයේ පස්වරුවේ රැස් වූ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. අදාළ නෞකාව දින 70 කට ආසන්න කාලයක් මෙරට මුහුදේ සැරි සැරීමෙන් අනතුරුව පසුගිය 04 වැනිදා මෙරට මුහුදු සීමාවෙන් ඉවත්ව පසුගිය 10 වැනිදා සිංගප්පුරුවට ළඟා විය. හිපෝ ස්පිරිට් නෞකාව සිංගප්පුරුව වෙත රැගෙන යනු ලැබුවේ සාම්පල ලබා ගැනීම සහ බේරුම්කරණය සඳහා බව චීනයේ චින්දාවෝ සිඩින් බයෝටෙක් සමාගම කියා සිටියේ ය. චීන සමාගම මෙරටින් ඉල්ලා ඇති වන්දි මුදල ඩොලර් මිලියන 8 කි. අදාළ කාබනික පොහොර නෞකාව මෙරටින් ප්‍රතික්ෂේප කරනු ලැබුවේ එහි හානිකර බැක්ටිරියා අඩංගු බව පවසමිනි.