ප්‍රියන්ත කුමාර ඝාතනයේ තවත් 18 ක් රිමාන්ඩ්

ප්‍රියන්ත කුමාර ඝාතනයේ තවත් සැකකරුවන් 18ක් රිමාන්ඩ්

by Sagarika Chathumali 13-12-2021 | 4:51 PM

COLOMBO (NEWS1ST):  පකිස්ථානයේ සියල්කොට්හිදී ප්‍රියන්ත කුමාර මහතා ඝාතනයේ තවත් සැකකරුවන් 18 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පකිස්ථාන ත්‍රස්ත මර්දන අධිකරණයක් අද (13) නියෝග කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සැකකරුවන් දෙසැම්බර් 28 වැනිදා යළි අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ද අධිකරණය නියෝග කළ බවයි. මීට පෙර ප්‍රියන්ත කුමාර ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් 34 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ත්‍රස්ත මර්දන අධිකරණය නියෝග කළ අතර ඒ අනුව මේ දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති ප්‍රධාන සැකකරුවන් සංඛ්‍යාව 52කි. ත්‍රස්තවාදය, මිනීමැරීමට තැත් කිරීම, මිනීමැරීමට කුමන්ත්‍රණය කිරීම, මිනිස් සිරුරක් කෙලෙසීම ඇතුළු චෝදනා යටතේ ප්‍රියන්ත කුමාර මහතා ඝාතනයේ සැකකරුවන් 900 කට පමණ එරෙහිව පකිස්ථාන පොලීසිය නඩු පවරා තිබේ.

ප්‍රියන්ත කුමාර මහතා ඝාතනය

පසුගිය දිනක පකිස්ථානයේ සියල්කොට්හිදී වධ හිංසනයට ලක් කර ප්‍රියන්ත කුමාර මහතා ඝාතනය කෙරිණ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු විද්‍යාවේදී උපාධිය ලද 48 හැවිරිදි දෙදරු පියෙකු වූ ප්‍රියන්ත කුමාර මහතා පකිස්ථානයට ගොස් තිබුණේ, මීට වසර 11 කට පෙරදී ය.