by Sagarika Chathumali 13-12-2021 | 12:50 PM
COLOMBO (News 1st ) – දශක දෙකකට පසු විශ්ව රූ රැජිණ කිරුළ ඉදිරියේ ඉන්දීය නාමය යළි රඳවා තබන්නට පන්ජාබ් දියණියක වන හර්නාස් සන්දු සමත්වූවා ය.
ඊශ්‍රායලයේ අයිලට්හි පැවති 70 වැනි විශ්ව රූ රැජිණ තරගාවලියේදී ඉන්දියාව නියෝජනය කරමින් තරගාවලියට ඉදිරිපත් වූ 21 හැවිරිදි සන්දු කිරුළට හිමිකම් කීවේ, පැරගුවේ සහ දකුණු අප්‍රිකාවේ තරගකාරිණියන් පරදවමිනි.
විශ්ව රූ රැජිණ තරගාවලිය ලොව පුරා සජීවීව විකාශය කෙරුණු අතර 2021 විශ්ව රූ රැජිණ කිරුළ සන්දු හිස පැළැන්දුවේ, ගිය වසරේ කිරුළේ හිමිකාරිය වූ ඇන්ඩ්‍රියා මෙසා ය.
මේ වනවිට රාජ්‍ය පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හදාරමින් සිටින සන්දුගේ විශ්ව රූ රැජිණ දක්වා පැමිණි ගමන ආරම්භ වන්නේ, ඇය 17 වැනි වියේ සිටයි.
සන්දු මෙලෙස ඉන්දියාවට කිරුළ හිමි කර දුන්නේ අවුරුදු 21 කට පසුව වන අතර මීට පෙර 2000 වසරේදී ලාරා දත්තා විශ්ව රූ රැජිණ කිරුළ හිමිකර දුන්නා ය. ලාරා දත්තාට පෙර කිරුළ ඉන්දියාවට හිමිකර දුන්නේ සුෂ්මිතා සෙන් ය.