මෙරටට එන අවු. 12ට අඩු දරුවන්ට PCR අවශ්‍ය නැහැ

විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන අවුරුදු 12ට අඩු දරුවන්ට PCR අවශ්‍ය නැහැ

by Staff writer 11-12-2021 | 4:13 PM

COLOMBO (News 1st) - විදේශගතව සිට මෙරටට පැමිණෙන වයස අවුරුදු 12ට අඩු ළමුන් වෙනුවෙන් PCR පරීක්ෂණ වාර්තාවක් අවශ්‍ය නැතැයි සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එහෙත් වයස අවුරුදු 12 සහ ඊට වැඩි අය මෙරටට පැමිණීමට පැය 72කට පෙර ලබාගත්, කොවිඩ් ආසාදිත නොවන බවට තහවුරු වූ PCR පරීක්ෂණ වාර්තාවක් ගුවන් තොටුපොළේදී ඉදිරිපත් කළ යුතු බව එම නිවේදනයේ දැක්වේ. මේ අතර මෙරටට පැමිණෙන යම් පුද්ගලයෙකු පසුගිය මාස 3 ඇතුළත කොවිඩ් ආසාදිතයකු වී ඇත්නම් ඔවුන්ට ආසාදිත නොවන බවට තහවුරු කිරීම සඳහා පැය 48ක් ඇතුළත සිදුකළ රැපිඩ් ඇන්ටිජන් වාර්තාවක් ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් බව ද සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි. සිවිල් ගුවන් සේවා අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ ලබා ගන්නා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වාර්තාවන් හා PCR වාර්තාවන් ඉංග්‍රීසි භාෂාවෙන් තිබිය යුතු බවය. මේ පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්ද නිවේදනයක් නිකුත් කර තිබේ.