ප්‍රියන්ත කුමාරගේ දරුපවුලට විපක්ෂ නායකගෙන් සවියක්!

පකිස්ථානයේ දී ඝාතනය වූ ප්‍රියන්ත කුමාරගේ දරුපවුලට විපක්ෂ නායකගෙන් සවියක්!

by Staff writer 10-12-2021 | 5:06 PM

COLOMBO (NEWS1ST): පකිස්ථානයේ සියල්කොට්හිදී අමානුෂික ලෙස ඝාතනය කරනු ලැබූ ප්‍රියන්ත කුමාර මහතාගේ නිවසට අද (10) පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රියන්ත මහතාගේ දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ලක්ෂ 10 බැගින් වූ මූල්‍ය පරිත්‍යාග දෙකක් සිදු කළේ ය.

විපක්ෂ නායකවරයා එහිදී එක් දරුවෙකුගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ලැප්ටොප් වර්ගයේ පරිගණකයක් ද පරිත්‍යාග කළේ ය. විපක්ෂ නායකවරයා ප්‍රියන්ත කුමාර මහතාගේ නිවසට පැමිණියේ දෙවන වරටයි. අභාවප්‍රාප්ත ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනයට සම්බන්ධ චූදිතයින්ට එරෙහිව සිදුවන විමර්ශන කටයුතු පිළිබඳව සමගි ජන බලවේගය නිරන්තර අවධානයෙන් සිටින බව පැවසූ විපක්ෂ නායකතුමා, අතිශය සාධාරණ පරීක්ෂණයක් තුළින් වැරදිකරුවන්ට නිසි දඩුවම් පැමිණවීමට පකිස්ථාන රජය කටයුතු කරනු ඇතැයි ද එහිදී පැවසීය. ප්‍රියන්ත කුමාර මහතාගේ දරු දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය කරන සහයෝගය ඉදිරියටත් ලබා දෙන බවද එහිදී විපක්ෂ නායකවරයා සහතික විය.