රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයෝ ලෙඩ වෙති

රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයෝ ලෙඩ වෙති

by Staff Writer . 08-12-2021 | 12:14 PM

COLOMBO (News 1st ) – රුපියල් 10,000 වැටුප් වැඩි වීමක් ඉල්ලා රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවක වෘත්තීය සමිති අද (08) ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වේ.

වෘත්තිය සමිති ක්‍රියා මාර්ගය හේතුවෙන් දිවයිනේ ස්ථාන රැසක තැපැල් කාර්යාලවල රාජකාරි සිදු නොවී ය. හෙද සංගම් අද වර්ජනය ආරම්භ කළේ, වයඹ පළාතෙනි. මේ හේතුවෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණ රෝගීහු විශාල පිරිසක් අපහසුතාවයට පත්වූහ. අද දින කුරුණෑගල ශික්ෂණ රෝහලේ හෘද රෝග ඒකකය, ඖෂධ නිකුත් කිරීම, එන්නත් කටයුතු, රෝහල් රසායනාගාර සේවාවලට මෙම වර්ජනය නිසා බාධා එල්ල විය. වෘත්තිය සමිති ක්‍රියා මාර්ගය හේතුවෙන් රෝහල් කටයුතු අඩපණ වීම හේතුවෙන් නිකවැරටිය, පුත්තලම, කල්පිටිය ආදි දුර බැහැර ප්‍රාදේශවල සිට හලාවත මහ රෝහලට පැමිණි රෝගීන් ද අද දැඩි අපහසුතාවයට පත් විය. කුලියාපිටිය ශික්ෂණ රෝහලේ ඖෂධ නිකුත් නොකිරීම හේතුවෙන් රෝගීන් දුෂ්කරතාවයට පත් විය. සමස්ත ලංකා ආයුර්වේද සුව සේවා සංගමය ද අද පෙරවරුවේ වෘත්තිය සමිති ක්‍රියා මාර්ගයක් ආරම්භ කළේ ය. ඒ රු. 7500 ක කොවිඩි දීමනාව නොලැබීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනි. අප වාර්තාකරු පැවසුවේ රෝහලේ සායන කටයුතු කිසිවක් ක්‍රියාත්මක නොවූ බවයි. මේ හේතුවෙන් බොරැල්ල ආයුර්වේද රෝහලට පැමිණි රෝගීහු අද දැඩි අපහසුතාවයට පත් වූහ. ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා ගාල්ල කඩවත්සතර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ කාර්යාල කටයුතු අඩපණ විය. තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හා පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණි මහජනතාව වෘත්තිය සමිති ක්‍රියා මාර්ගය හේතුවෙන් අපහසුතාවයට පත් වූ බව අප වාර්තාකරු පැවසී ය. රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවක වෘත්තීය සමිති ආරම්භ කළ ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට තම සහය ද ලබා දෙන බව සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය පවසයි.