මීගහජදුරේදී මිනිස් ජීවිත 2 ක් වන අලියාට බිලි

මීගහජදුරේදී මිනිස් ජීවිත 2 ක් වන අලියාට බිලි

by Staff Writer . 08-12-2021 | 11:21 AM

COLOMBO (News 1st ) – සූරියවැව, මීගහජදුර ප්‍රදේශයේදී වනඅලි‍ පහරදීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

පොලිසිය පැවසුවේ එම ප්‍රදේශයේම පදිංචි අවුරුදු 36 හා 49 යන වයස්වල පසුවන පුද්ගලයින් දෙදෙනකු අද අලුයම එල්ලවූ වන අලි ප්‍රහාරයකින් එලෙස මියගොස් ඇති බවයි. මේ අතර අලි මිනිස් ගැටුම බහුලව පවතින ප්‍රදේශවල දැනට ස්ථාපිත විදුලි වැට සඳහා දෙවැනි බාධකයක් ඉදිකිරිමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. එහි අධ්‍යක්ෂ ජෙනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් කළ අධ්‍යයන කිහිපයක ප්‍රතිඵල මත මේ පියවර ගත් බවයි. ඒ අනුව පවතින විදුලි වැටට අමතරව අගල් කැපීම ,එල්ලෙන විදුලි වැට ඉදි කිරීම හෝ ජෛව වැටක් ඉදිකිරිම වැනි විකල්ප ක්‍රමවලින් එකක් ස්ථාපනය කිරීමට නියමිත බව ඔහු සඳහන් කළේ ය. වනජීවි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසුවේ, දෙවැනි බාධකයක් ඉදිකිරීම මගින් වනඅලි ඒ හරහා ගම් වැදීම පාලනය වන බව පසුගිය කාලයේ කළ අධ්‍යයන ගණනාවකින්ම හෙළිව ඇති බවයි. ඒ අනුව හඳුනා ගත් ප්‍රදේශවල කිලෝ මීටර් 300 ක විදුලි වැටට අමතරව දෙවැනි බාධකයක් ඉදිකිරීම මේ වනවිට ආරම්භ කර තිබේ. කිලෝ මීටර් 4500 ක දුරක් මේ වනවිට විදුලි වැට ස්ථාපනය කර ඇති අතර ලබන වසරේදි තවත් කිලෝ මීටර් 1500 ක් අලුතින් විදුලි වැට ඉදිකිරීමට සැලසුම් කර ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසී ය.