ප්‍රියන්ත කුමාර ඝාතනයේ තවත් සැකකරුවන් 8 ක් අල්ලයි

ප්‍රියන්ත කුමාර ඝාතනයේ තවත් සැකකරුවන් 8 ක් අල්ලයි

by Sagarika Chathumali 08-12-2021 | 3:34 PM

COLOMBO (News 1st) පකිස්ථානයේ සියල්කොට්හි මාර්ගයකදී ප්‍රියන්ත කුමාර මහතා සාහසික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියේ තවත් සැකකරුවන් 8 දෙනෙකු පන්ජාබ් පොලීසිය විසින් අද (08) අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

පකිස්ථාන පොලීසිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සිද්ධියට අදාළ CCTV දර්ශන හා දුරකතන දත්ත උපයෝගී කරගනිමින් සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි. මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අතර ඝාතන සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 34 දෙනෙකු සිටින බව ද එරට පොලීසිය පවසයි. පකිස්ථානයේ සියල්කොට්හී වසිරාබාද් මාර්ගයේදී පසුගිය සිකුරාදා ඝාතනය කර පළුස්සා දැමූ ප්‍රියන්ත කුමාර මහතාගේ සිරුරු කොටස් පසුගිය දා දිවයිනට රැගෙන අවේ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් යානයකිනි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු විද්‍යාවේදී උපාධිය ලද 48 හැවිරිදි දෙදරු පියෙකු වූ ප්‍රියන්ත කුමාර මහතා පකිස්ථානයට ගොස් තිබුණේ, මීට වසර 11 කට පෙරදී ය. ප්‍රියන්ත කුමාර මහතාගේ අවසන් කටයුතු අද ගනේමුල්ල පොල්හේන පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත ය.

ප්‍රියන්ත කුමාර ඝාතනයේ සුලමුල හෙළි කළ පන්ජාබ් වාර්තාව