ගෝල් ග්ලැඩියේටර්ස්ට කඩුලු 4ක ජයක්

කැන්ඩි වොරියර්ස්ට එරෙහිව ගෝල් ග්ලැඩියේටර්ස්ට කඩුලු 4ක ජයක්

by Staff writer 08-12-2021 | 8:30 AM

COLOMBO (News 1st ) –  ලංකා ප්‍රිමියර් ලීග්(LPL) පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ කැන්ඩි වොරියර්ස් කණ්ඩායමට එරෙහි තරගය ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම කඩුලු 4කින් ජය ගත්තේ ය.

එම ජයග්‍රහණයත් සමග ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම තරගාවලියේ ලකුණු සටහනේ පෙරමුණට පැමිණියේ ය. කොළඹ, ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කැන්ඩි වොරියර්ස් කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 2 ලකුණු 16කදී බිඳ වැටුණි. කමිදු මෙන්ඩිස් ලකුණු 32යි. අහමඩ් ෂෙශාඩ් පන්දු 51කින් ලකුණු 56ක් රැස් කළේ ය. 4 පහර 7ක් සහ 6 පහරක් ඔහුගේ ඉනිමට ඇතුළත් ය. ටී.එම් සම්පත් ලකුණු 19 කි. සමිත් පටේල් ලකුණු 13ට කඩුලු 3ක් දවා ගත් අතර ධනංජය ලක්ෂාන් කඩුලු 2කි. කැන්ඩි වොරියර්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 143 කි. කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක ගෝල් ග්ලැඩියේටර්ස් ආරම්භක කඩුල්ලට ලකුණු 62ක සබඳතාවක් ගොඩනැගුවේ ය. මෙන්ඩිස් ලකුණු 16 කි. ගුණතිලක පන්දු 33කින් ලකුණු 45ක් රැස් කළ අතර 4 පහර 4ක් සහ 6 පහර 2ක් ඔහුගේ ඉනිමට ඇතුළත් ය. මොහොමඩ් හෆීස් ලකුණු 13කට පිටියෙන් ඉවත් විය. නායක භානුක රාජපක්ෂ පන්දු 13කින් ලකුණු 22 කි. ලහිරු මදුසංක නොදැවී ලකුණු 22ක් රැස් කරගෙන සිටියේ ය. සචිඳු කොළඹගේ ලකුණු 20ට කඩුලු 3 කි. ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම තරගය අවසන් වීමට පන්දු 4ක් ඉතිරිව තිබියදී කඩුලු 6ක් දැවී නියමිත ඉලක්කය පසු කළේ ය. තරග 3කට සහභාගී වී ඉන් තරග 2ක් ජය ගත් ඔවුන් ලකුණු සටහනේ පෙරමුණේ පසු වන්නේ ප්‍රසාද ලකුණු 4ක් ලබා ගනිමින් ය.