අලි කරදර ඇති ප්‍රදේශවලට නව සැලැස්මක්..

අලි-මිනිස් ගැටුම බහුලව ඇති ප්‍රදේශවල ස්ථාපිත විදුලි වැටට දෙවැනි බාධකයක් ඉදි කිරීමට පියවර - වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව

by Staff writer 08-12-2021 | 7:02 AM

COLOMBO (News 1st ) – අලි - මිනිස් ගැටුම බහුලව පවතින ප්‍රදේශවල දැනට ස්ථාපිත විදුලි වැට සඳහා දෙවැනි බාධකයක් ඉදිකිරිමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

එහි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් කළ අධ්‍යයන කිහිපයක ප්‍රතිඵල මත මෙම පියවර ගත් බවයි. ඒ අනුව පවතින විදුලි වැටට අමතරව අගල් කැපීම ,එල්ලෙන විදුලි වැට ඉදි කිරීම හෝ ජෛව වැටක් ඉදිකිරීම වැනි විකල්ප ක්‍රමවලින් එකක් ස්ථාපිත කිරීමට නියමිත බව ඔහු සඳහන් කළේ ය. වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ , දෙවැනි බාධකයක් ඉදිකිරීම මගින් වන අලි ඒ හරහා ගම් වැදීම පාලනය වන බව පසුගිය කාලයේ කළ අධ්‍යයන ගණනාවකින්ම හෙළිව තිබේ. හඳුනා ගත් ප්‍රදේශවල කිලෝමීටර් 300 ක විදුලි වැටට අමතරව දෙවැනි බාධකයක් ඉදිකිරීම මේ වනවිට ආරම්භ කර තිබේ. කිලෝමීටර් 4500 ක දුරක් මේ වනවිට විදුලි වැට ස්ථාපනය කර ඇති අතර ලබන වසරේදි තවත් කිලෝමීටර් 1500 ක් අලුතින් විදුලි වැට ඉදි කිරීමට සැලසුම් කර ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ ය.