පොඩි ලැසීගේ පෙත්සම කැඳවයි

පොඩි ලැසී ගැන ඉදිරි පියවර 13 අධිකරණයට දැනුම් දෙන බව නීතිපති කියයි

by Staff Writer . 07-12-2021 | 4:34 PM

COLOMBO (NEWS1ST):  දැනට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින ප්‍රබල පාතාල කල්ලි සමාජිකයකු යැයි, කියන ජනිත් මධුසංඛ හෙවත් 'පොඩි ලැසීගේ' රැඳවුම් නියෝග කාලය අවසන් වූ පසු ඔහු පිළිබඳව ගන්නා ඉදිරි පියවර පොලිස්පතිවරයාගෙන් විමසා දැනුම් දෙන බව නීතිපතිවරයා අද (07) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේ ය.

නීතිපතිවරයා ඒ බව දැනුම් දුන්නේ සිය ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා පොඩි ලැසී හා ඔහුගේ බිරිඳ ගොනු කළ රීට් පෙත්සම අද කැඳවූ අවස්ථාවේදීයි. අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් මහතා ඉදිරියේ මෙම රීට් පෙත්සම කැඳවී ය. තම සේවා දායකයාගේ රැඳවුම් නියෝග කාලය ලබන 15 වැනිදායින් අවසන් වන බවත්, ඉන් පසු ඔහු පෑලියගොඩ පිහිටි විශේෂ විමර්ශන ඒකකයට භාර දීමේ සූදානමක් ඇති බවත්, පොලීසිය භාරයේ සිටියදී ඔහු මරා දැමීමේ සූදානමක් ඇති බවට තොරතුරු ලැබී ඇති බවත්, ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා ප්‍රකාශ කළේ ය. විමර්ශන සඳහා රැඳවියන් පිටතට ගෙනයාමට විමර්ශන නිලධාරීන්ට සිදුවන බවත්, එහිදී ඔවුන්ගේ ක්‍රියා කලාපය මත යම්කිසි අහිතකර සිද්ධීන්ට මුහුණ දීමට සිදුවන බවත්, පොලීසිය භාර අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය මගින් තම සේවාදායකයාගේ ජීවිතයට තර්ජනයක් වියහැකි බවත්, ඔහු වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේ ය. 'පොඩි ලැසී'ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලිස්පතිවරයා පසුගිය මැයි මස අධිකරණයට පොරොන්දුවක් දී ඇති බව, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කියා සිටියේ ය. රැඳවුම් නියෝග කාලය අවසන් වූ පසු 'පොඩි ලැසී' සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර මෙම මස 13 අධිකරණයට දන්වන බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය.