ප්‍රියන්තගේ මාසික වැටුප අඛණ්ඩව ගෙවීමට පියවර

පකිස්ථානයේ ආරක්ෂක ඇමතිගේ ප්‍රකාශය ඇත්තනම් ඔහු ලාංකිකයින්ගෙන් සමාව ගත යුතුයි - සරත් වීරසේකර

by Staff writer 07-12-2021 | 9:39 PM

COLOMBO (News 1st ) - ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතාට අමෙරිකානු ඩොලර් ලක්ෂයක වන්දියක් ලබාදීමටත් ඔහුගේ මාසික වැටුප අඛණ්ඩව බිරිඳට ගෙවීමටත් තීරණය කර ඇතැයි පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අද(07) නිවේදනය කළේ ය.

පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ ආගමේ නාමයෙන් ප්‍රචණ්ඩත්වයේ යෙදෙන කිසිවෙකුට මින් ඉදිරියට සමාවක් නොමැති බවය. ඔහු මේ බව අවධාරණය කළේ අද (07) ඉස්ලාමාබාද් නුවර අගමැති කාර්යාලයේදී ප්‍රියන්ත කුමාර මහතා ඝාතකයින්ගෙන් ආරක්ෂා කිරීමට උත්සාහ කළ මලික් අද්නන්ට ධෛර්යය වෙනුවෙන් පිරිනමන සම්මාන සහතිකය පිරිනමමිනි. මේ අතර පකිස්ථානයේදී ඝාතනය කළ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය මේ වනවිට ඔහුගේ නිවසේ තැම්පත් කර තිබේ . මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලනඥයින් රැසක් ප්‍රියන්ත කුමාර මහතාට අවසන් ගෞවරව දැක්වීමට අද ඔහුගේ නිවසට පැමිණ සිටියේ ය. විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර " සමාජ මාධ්‍යයේ සැරිසරනවා පකිස්ථානයේ ආරක්ෂක ඇමති කිව්වයි කියලා. මේක සාමාන්‍ය දෙයක් තරුණ මුස්ලිම් අය හැඟීම්බරව කරන දේ ගැන අපි ගණන් ගත යුතු නැහැ කියලා. ඒක ඇත්තද දන්නේ නැහැ. ඒක ඇත්ත නම් මගේ දැඩි විරෝධය ඔහුට පලකරනවා, ඔහු ලංකාවාසීන්ගෙන්ම සමාව ගන්න ඕනේ.ඒ ප්‍රකාශය ඔහු වහාම ඉල්ලා අස්කරගතයුතුයි ඒක ඇත්ත නම් " මේ අතර ප්‍රියන්ත කුමාර මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් අද (07) පස්වරුවේ පැමිණියේ ය . අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් "මේවා පිටිපස්සේ අපි දකින්න හුඟාක් දුරට දේශපාලනය අතකොලුවක් කරගන්නට දරණ උත්සාහයක ප්‍රතිඵලයක් විදිහටයි. ආගමයි දේශපාලනයයි දෙකක් . ඒ දෙක වෙන් කරලා තියාගත්තොත් මම හිතන්නේ හැම රටකටම හුගාක් හොදයි කියලා. පකිස්ථාන් රජයෙන් අපි බලාපොරොත්තු වෙනවා මේ ගැන හරි ආකාර පරීක්ෂණය කරලා ඒක පිටිපස්සේ ඉන්නේ කව්ද කියන එක හොයාගෙන සාධාරණය ඉෂ්ඨ කරයි කියලා.- " පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයාට ලබාදුන් පරීක්ෂණ වාර්තා උපුටා දක්වමින් පාකිස්තානයේ ජියෝ ටීවී නාලිකාව සඳහන් කරන්නේ , ප්‍රියන්ත කුමාර මහතා දැඩි ලෙස විනය සම්බන්ධයෙන් කටයුතු කළ කළමනාකරුවෙකු බවය. ආගමික උත්සවයකට ආරාධනා කළ පෝස්ටරයක් ඉවත් කිරීම සම්බන්ධයෙන් බහින් බස්වීමක් ඇති වූ බව පන්ජාබ් ප්‍රාන්ත රජය ඉදිරිපත් කළ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වේ . කර්මාන්ත ශාලාවේ හිමිකරු එම ස්ථානයට පැමිණ තත්ත්වය සමථයට පත් කළ බවත්, තම අනවබෝධය නිසා මෙවැන්නක් සිදු වූ බවට ප්‍රියන්ත කුමාර මහතා සමාව අයැද සිටි බවත් පාකිස්ථානයේ ජියෝ ටී.වී වාර්තාවේ දැක්වේ නමුත් ඉන් පසුවත් පිරිසක් ප්‍රියන්ත කුමාර මහතා සොයමින් ඔහුට පහරදීමට පියවර ගෙන තිබේ . පකිස්ථාන මාධ්‍ය වාර්තාකරන්නේ 800 කට වැඩි පිරිසක් පහරදෙන අවස්ථාවේ කර්මාන්ත ශාලාවේ ආරක්ෂක නිලධාරීන් දහතුන් දෙනෙකු සිටිය ද ඔවුන් කිසිවෙකු ප්‍රියන්ත කුමාර මහතා බේරා ගැනීමට අවම උත්සාහයක්වත් ගෙන නොමැති බවයි. මියගිය ප්‍රියන්ත කුමාර මහතාගේ සිරුරු කොටස් හෙට ගනේමුල්ල පොල්හේන පොදු සුසාන භූමියේ තැන්පත් කිරීමට නියමිතය. මේ අතර ආගමික විශ්වාසයන්ගේ නාමයෙන් යැයි පවසමින් සිදුකල මේ ම්ලේච්ඡ ක්‍රියාව ඉස්ලාමයේ ඉගැන්වීම් වලට සපුරාම පටහැනි බව සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව සඳහන් කරයි නිවේදනයක් නිකුත් කරමින් එම සභාව අවධාරණය කරන්නේ කිසිදු ලෙසකින් එම ක්‍රියාව අනුමත හෝ සාධාරණීකරනය කළ නොහැකි බවය මෙම ම්ලේච්ඡ ඝාතනය සම්බන්ධයෙන් අපරාධකරුවන්ට එරෙහිය දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙසද සමස්ත ලංකා ජමිය තුල් උලමා සභාව ඉල්ලීමක් කර තිබේ.