ප්‍රියන්ත කුමාර ඝාතකයින්ට නිසි දඬුවම් ලබා දිය යුතු

ප්‍රියන්ත කුමාර ඝාතකයින්ට නිසි දඬුවම් ලබා දිය යුතුයි - සියම් මහා නිකායේ මල්වතු හා අස්ගිරි පාර්ශව

by Staff Writer . 06-12-2021 | 7:13 PM

COLOMBO (News 1st) - පකිස්ථානයේ, සියල්කොට්හී කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටියදී ඝාතනය කරන ලද ප්‍රියන්ත කුමාර මහතාගේ සිදුවීම පිළිබද සංවේගය පළකර අස්ගිරි හා මල්වතු පාර්ශවය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

අස්ගිරි හා මල්වතු පාර්ශවවල ලේඛකාධිකාරි හිමිවරුන්ගේ අත්සනින් නිකුත් කළ අදාළ නිවේදනයේ සඳහන් වන්නේ මෙම සාහසික අපරාධය සිදුකළ මිනීමරුවන් කවුරුන් වුවත් ඔවුන් නීතිය හමුවට පමුණුවා නිසි දඬුවම් ලබා දිය යුතු බවය. මරණයට පත් ප්‍රියන්ත කුමාර මහතාගේ බිරිඳ හා දරුවන්ටත් පවුලේ සියලු දෙනාටත් පකිස්ථාන රජය ලවා යුක්තිය හා සාධාරණත්වය ඉටුකරවා ගැනීමටත්, ඔවුන්ට සාධාරණ වන්දියක් ලබා ගැනීමටත් ශ්‍රී ලංකා රජය ක්‍රියාකළ යුතු බව ද උන්වහන්සේ අවධාරණය කළේය. පකිස්ථානයේදී අන්තවාදීන් විසින් ප්‍රියන්ත කුමාර දියවඩන මහතා ම්ලේච්ඡ ලෙස ඝාතනයට ලක්වීම ගැන ඇසීමෙන් තමන් බලවත් සේ කම්පනයටත්, සන්තාපයටත් පත්වූ බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම කුරිරු සහ අමානුෂික ඝාතනය පිළිකුලෙන් යුතුව හෙළා දකින උන්වහන්සේ සඳහන් කරන්නේ ආගමට මුවාවී සිදු කරන මෙවැනි බිහිසුණු අන්තවාදී සාහසික අපරාධ නිසා උද්ගතවන ඛේදනීය තත්ත්වයන් නවතාලන්නට සෑම රටකම නායකයින් දැඩි පරිශ්‍රමයෙන් නිතීය ක්‍රියාත්මක කල යුතු බවය. මේ අතර ප්‍රියන්ත කුමාර මහතාට යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා අද සිවිල් සංවිධාන, දේශපාලන පක්ෂ නියෝජීතයින් සහ ආගමික නායකයින් රැසක් කොළඹ පිහිටි පාකිස්ථාන මහකොමසාරිස් කාර්යාලයට පැමිණ සංදේශ භාර දුන්නේය.