සංචාරක කර්මාන්තයට ප්‍රමුඛතාව දෙන්න..- විපක්ෂ නායක

සංචාරක කර්මාන්තයට ප්‍රමුඛතාව දෙන්න..- විපක්ෂ නායක

by Staff Writer . 05-12-2021 | 9:52 PM

COLOMBO (NEWS1ST):  ශ්‍රී ලංකා මහබැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශයන්ට අනුව සංචාරක කර්මාන්තයේ සමස්ත ණය කළඹ ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය මගින් ලබාදුන් නිර්දේශ වහා ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

ඒ සංචාරක කර්මාන්තය මුහුණපා ඇති අර්බුදය පිළිබඳ විසඳුම් යෝජනා ඇතුළත් නිවේදනයක් නිකුත් කරමිනි. සමගිජන බලවේග විද්වද් මණ්ඩලය වන්නේ බුද්ධි මණ්ඩපයයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ තීරණාත්මක සංඝටකයක් හා ප්‍රධාන විදේශ විනිමය උත්පාදන මූලාශ්‍රයක් වන සංචාරක කර්මාන්තය 2019 පාස්කු ප්‍රහාරය මගින් මෙන්ම දැනට පවත්නා ලෝක වසංගත තත්ත්වය මගින්ද විනාශ මුඛයට ඇද දමා ඇති බව විපක්ෂ නායකවරයා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි. මේ හේතුවෙන් සංචාරක ව්‍යාපරය මත ඍජුව යැපෙන සේවා අංශයන්හි සේවා නියුක්ති අවස්ථා දැඩිසේ සීමා වී ඇති බව ද නිවේදනයේ සඳහන් ය. නිවේදනය මගින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ ආර්ථිකය කෙරෙහි සංචාරක කර්මාන්තයේ පවත්නා වැදගත්කම සැලකිල්ලට ගිනිමින් ශ්‍රී ලංකා රජය විසින් මෙම කර්මාන්තයට ප්‍රමුඛවත්ය ලබා දිය යුතු බවයි. මෙම අංශය කෙරෙහි යම් අයවැය යෝජනා මගින් ඍණාත්මක බලපෑමක් ඇති කරන්නේය යන්න පිළිබඳව විපක්ෂයේ අවධානය යොමු වී ඇති බව ද විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි. පිරිවැටුම මත සියයට එකක් වූ සංචාරක සංවර්ධන බද්දට අමතරව සීයට දෙකයි දශම පහක්වූ යෝජිත සමාජ ආරක්ෂණ දායක මුදල හේතුකොටගෙන මිල ගණන් හා ආන්තිකයන් කෙරෙහි හානි කර බලපෑම් ඇති වන ඇති බව විපක්ෂයේ මතය වී තිබේ. විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ බලපත්‍ර ලාභි වාණිජ බැංකු විසින් සංචාරක අංශය ලබා ගෙන ඇති ණය මුදල් වසර දෙකක සහන කාලයක් සහිතව වසර දහයක කාලයක් සදහා ප්‍රතිව්‍යුහගත කිරිම , ණය පමා සමා කාලය තුළ දිගු කාලීන ණයවල සමස්ත පොළී මුදල් ප්‍රමාණය අත් හැරීම, ණය ප්‍රතිව්‍යූහගතකරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීම කළ යුතු බවයි. දැනට පවතින 2005 අංක 38 දරන සංචාරක පනත වෙනුවට කඩිමුඩියේ සංචාරක පනතක් පැනවීමට මෙය සුදුසු කාලය නොවන බව සමගි ජන බලවේග විද්වද් මණ්ඩලය වන බුද්ධි මණ්ඩපයේ මතය වී තිබේ. වර්තමාන පනතට නිසැකවම වෙනස් කම් අවශ්‍ය නමුත් තීරණ ගැනීමේදී ප්‍රමාණවත් පෞද්ගලික අංශයේ සහභාගීත්වයක් අවශ්‍ය බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි. යෝජිත සංචාරක පනත මගින් පුද්ගලික අංශයට හුදෙක් නිරීක්ෂකයන් ලෙස පමණක් ආරාධනා කරමින් රාජ්‍ය ආයතන නියෝජිතයන් වෙත පාලන අංශයන් භාරදෙනු ලබන්නේය යන්න කම්පනය දනවන සුලු කරුණක් බව එම නිවේදනයේ සඳහන් ය.