පකිස්ථානයේදී ලාංකිකයා ඝාතනය : 230ක් අත්අඩංගුවේ

පකිස්ථානයේදී ලාංකිකයා ඝාතනය : 230 කට වැඩි පිරිසක් අත්අඩංගුවට

by Staff Writer . 05-12-2021 | 8:13 PM

COLOMBO (NEWS1ST):  පකිස්ථානයේ සියල්කොට්හිදී වධ හිංසනයට ලක් කර ප්‍රියන්ත කුමාර මහතා ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 230 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ, ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් 13 දෙනෙකු ද ඒ අතර වන බවයි. තව ද මෙම සිදුවීමේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා හෙළදරව් නොකළ ස්ථානයකට රැගෙන ගොස් ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. රාජ්කෝ කම්හලේ තවත් 900 දෙනෙකුට එරෙහිව මූලික පරීක්ෂණ වාර්තා සූදානම් කර ඇතැයි, පන්ජාබ් පොලිස්පතිවරයා සඳහන් කළේ ය. විමර්ශන සඳහා සීසීටිවී කැමරා 160 කින් ලබා ගත් දර්ශන සහ දත්ත මෙන්ම ජංගම දුරකතන දර්ශන භාවිත කර තිබෙනවා. පකිස්ථාන රජයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ රාජ්කෝ ඇඟළුම් කම්හල මේ වන විට තාවකාලිකව වසා දමා ඇති බවයි. මේ අතර පාකිස්ථානයේ සියල්කොට්හිදී වධ හිංසනයට ලක් කර ඝාතනය කළ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහයේ අවශේෂ කොටස් රාජ්‍ය වියදමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් හෙට දිවයිනට රැගෙන ඒමට නියමිතයි. නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ පකිස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් පකිස්ථානයේ විදේශ කටයුතු අමාත්‍යංශයෙන් විමර්ශන වාර්තාවක් ඉල්ලා ඇති බවයි. පකිස්ථානයේ සියල්කොට්හීදී ප්‍රියන්ත කුමාර දියවඩන වධහිංසනයට ලක් කිරීමට අදාළ සිදුවීම් මාලාව ආරම්භ වී ඇත්තේ පසුගිය සිකුරාදා උදෑසන 10.02 ට බව පන්ජාබ් පොලිස්පතිවරයා සඳහන් කළ බව පාකිස්ථාන ඩෝන් පුවත් වෙබ් අඩවිය සඳහන් කරයි. එම වාර්තාවට අනුව පොලීසිය එම ස්ථානයට ළඟා වී ඇත්තේ 11.45 ට පමණ ය. නමුත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන දර්ශන අනුව ප්‍රියන්ත කුමාරගේ සිරුර ගිනි තබන අවස්ථාවේ දී ඒ අසලින් පොලිස් නිලධාරියෙකු ගමන් කරනු දැක ගත හැකියි. කෙසේ වෙතත් පන්ජාබ් පොලිස්පතිවරයා සඳහන් කළේ රාජකාරී මග හැර ඇති නිලධාරීන් සිටී නම් ඔවුන්ට එරෙහිවත් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට උපදෙස් ලබා දී ඇති බවයි. මේ අතර ප්‍රියන්ත කුමාරගේ පශ්චාත් මරණ පරීක්ෂණයේ වාර්තාව අද නිකුත් කෙරුණු අතර ඊට අනුව ඔහුගේ මුළු සිරුරම දැඩි ලෙස පිළිස්සී තිබේ. ශරීර අභ්‍යන්තර කොටස්වලට දැඩි ලෙස හානී වී ඇති බවත් කැපුම් හේතුවෙන් වෙන්වී තිබූ සිරුර යළි සකස් කර ලාහෝර් පොලිසියට භාර දීමට කටයුතු කරන බවත් ඩෝන් පුවත් වෙබ් අඩවියේ සඳහන් ය. ප්‍රියන්ත කුමාර මිලේච්ඡ ලෙස ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ අපරාධකරුවන්ට නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන බවට පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඊයේ සහතික වී තිබුණි. පාකිස්ථානයේ දී ඝාතනට ලක්වූ 48 හැවිරිදි ප්‍රියන්ත කුමාර මහතා ගනේමුල්ල කැන්දලියද්දපාළුව ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි. ප්‍රියන්ත කුමාරගේ පවුලේ ඥාතීන්ට ශෝකය පළ කිරීම සඳහා මහජන නියෝජිතයින්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීහු ඇතුළු පිරිස් අදත් එම නිවසට පැමිණියහ. ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාරගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් වන්දි ලබා ගැනීමට අදාළ කටයුතු සිදු කරමින් ඇතැයි පාකිස්ථානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් විශ්‍රාමික රියර් අද්මිරාල් මොහාන් විජේවික්‍රම මහතා පැවසී ය. ඔහු වැඩිදුරටත් පැවසුවේ දැනට පාකිස්ථානයේ රැඳි සිටින ශ්‍රි ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරිමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි, පාකිස්ථාන රජයට දැනුම් දුන් බවයි. මේ වන විට ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් 400 අධික පිරිසක් පාකිස්ථානයේ රැඳී සිටී. මේ අතර ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනය පිළිබඳ සාධාරණයක් ඉටු කරන්නැයි පවසමින් ඔහුගේ ඥාතීහු පිරිසක් අද මහනුවර නගරයේ දී නිහඩ විරෝධතාවක නිරත වූහ. ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනය හෙළා දකිමින් ඊට සාධාරණයක් ඉටු කරන්නැයි ඉල්ලමින් කල්පිටිය දළුව අන්තර් සමුද්ධ පිරිවෙන ඉදිරිපිට නිහඩ විරෝධතාවක් පැවැත්විණ.