by Staff Writer . 05-12-2021 | 12:46 PM
COLOMBO (NEWS1ST): පකිස්ථානයේ සියල්කෝට්හිදී වධ හිංසනයට ලක් කර ඝාතනය කළ ප්‍රියන්ත කුමාර මහතාගේ සිරුරු කොටස් ශ්‍රීලංකන් ගුවන් සේවයේ යානයකින් හෙට (06) මෙරටට රැගෙන ඒමට නියමිතයි.
පාකිස්ථානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් විශ්‍රාමික රියර් අද්මිරාල් මොහාන් විජේවික්‍රම මහතා නිවුස්ෆස්ට් වෙත සඳහන් කළේ, ඒ මහතාගේ සිරුර මෙරටට ගෙන ඒම ඇතුළු ඉදිරි කටයුතු රජයේ වියදමින් සිදු කරන බවයි.
අදාළ ඝාතනය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පාකිස්ථාන රජය ක්‍රියාත්මක කර ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.
ඝාතනයට ලක්වු ශ්‍රී ලාංකික කළමනාකාරවරයාගේ පවුලේ සාමාජිකයින් සඳහා වන්දි ලබා ගැනීමට අදාළ කටයුතු ද සිදු කරමින් ඇතැයි මොහාන් විජේවික්‍රම මහතා ප්‍රකාශ කළේ ය.
මේ අතර, දැනට පකිස්ථානයේ රැඳි සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරිමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි, පාකිස්ථාන රජයට දැනුම් දුන් බව ද, පාකිස්ථානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් විශ්‍රාමික රියර් අද්මිරාල් මොහාන් විජේවික්‍රම මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, මේ වන විට ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 400 අධික පිරිසක් පකිස්ථානයේ රැඳී සිටින බවයි.
මේ අතර අදාළ ඝාතනය සම්බන්ධයෙන් සිදුවන විමර්ශන පිළිබඳ දැඩි අවධානයකින් පසුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
පකිස්ථානයේ සියල්කොට්හී වසිරාබාද් මාර්ගයේ දී ප්‍රියන්ත කුමාර මහතා වධහිංසනයට ලක් කර ඝාතනය කිරීම මේ වන විට ලෝකයේම අවධානය යොමුව තිබේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු විද්‍යාවේදී උපාධිය ලද ප්‍රියන්ත කුමාර මහතා පකිස්ථානය වෙත ගොස් ඇත්තේ මීට වසර 11 කට පෙරදී ය.
48 හැවිරිදි ප්‍රියන්ත කුමාර මහතා ගනේමුල්ල කැන්දලියද්දපාළුව ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි.