සෞඛ්‍ය උපදෙස් කඩ කළොත් යළි සීමා ?

සෞඛ්‍ය උපදෙස් කඩ කළොත් යළි සීමා... සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

by Staff writer 04-12-2021 | 11:37 AM

 COLOMBO (NEWS1ST): ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් පිළි නොපදින්නේ නම් , යළිත් රට තුළ සීමා පැනවීම සිදුවිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා සඳහන් කළේ , සියලු පුද්ගලයින් එන්නත්කරණයට ලක්වීම් අතිශය වැදගත් බවයි. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා සඳහන් කරන්නේ, ඊයේ (03) දින මෙරටින් හමු වූ නව ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය ආසාදිත පුද්ගලයා ද, එන්නත්කරණයට ලක්ව නොමැති බවයි. ඔහු නයිජිරියාවේ සංචාරය කර , මෙරටට පැමිණි පුද්ගලයෙකි. එලෙස ඊයේ නව ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිත පුද්ගලයෙකු හඳුනා ගත්ත ද , එලෙස හඳුනා නොගත් පුද්ගලයින් ද තවදුරටත් සමාජයේ සිටිය හැකි බවත් පෙන්වා දෙන වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා සඳහන් කරන්නේ, ‌මෙම රෝගයෙන් වැළකීමට ඇති එකම අවිය එන්නත්කරණය බවයි. මීට අමතරව සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්ය බව ද ඒ මහතා සඳහන් කරයි. ඔමික්‍රෝන් කොවිඩ් වෛරස් ප්‍රභේදය ආසාදිත පුද්ගලයින්ගේ PCR පරීක්ෂණවල යම් යම් වෙනස්කම් පැහැදිලිව හඳුනා ගත හැකි බවත් ඒ අනුව එවැනි ආසාදිතයෙකු මග හැරී යාමට ඇති ඉඩකඩ ඉතා අඩු බවත් වෛද්‍ය බටුවන්තුඩාව මහතා පෙන්වා දෙයි.