පකිස්ථානයේදී ලාංකිකයා ඝාතනය:120ක් අත්අඩංගුවට

පකිස්ථානයේදී ශ්‍රී ලාංකිකයා ඝාතනය: 120 ක් අත්අඩංගුවේ..

by Staff Writer . 04-12-2021 | 10:11 PM

COLOMBO (NEWS1ST):  පකිස්ථානයේ සියල්කොට්හී වසිරාබාද් මාර්ගයේදී ශ්‍රී ලාංකිකයෙකු වන ප්‍රියන්ත කුමාර දියවඩන වධ හිංසනයට ලක් කර ඝාතනය කිරීම මේ වන විට ලෝකයේම අවධානය යොමුව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 100 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඒ අතර මෙම ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ෆර්හාන් ෆෙරසිස් නැමැත්තා මෙන්ම දෙවන ප්‍රධාන සැකකරු වන උස්මාන් රෂීඩ් ද වෙති. පන්ජාබ් පොලිස්පතිවරයා සඳහන් කළේ, මෙම සිදුවීමට සම්බන්ධ සියලු දෙනා සීසීටිවි දර්ශන උපයෝගී කර ගනිමින් හඳුනා ගන්නා බවයි. කම්හලේ අලවා තිබූ පෝස්ටරයක් ඉවත් කිරීම හේතුවෙන් TLP හෙවත් ටෙහෙරික් ඊ ලබ්බයික් පකිස්ථාන අනුගාමිකයින් මෙම ඝාතනය සිදු කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණය කළේ ය. කෙසේ වෙතත් ටෙහෙරික් ඊ ලබ්බයික් සංවිධානයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම ඝාතනයේ වගකීම තමන් භාර නොගන්නා බවයි. පාකිස්ථාන රජයට එල්ල වු දැඩි විරෝධ හමුවේ මෙම සංවිධානයට පනවා තිබූ තහනම ඉවත් කිරිමට ද පසුගිය දා පකිස්ථාන රජය තීරණය කළේ ය. මේ අතර පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් කාන් මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ශ්‍රී ලාංකිකයා ඝාතනය හෙළා දුටු අතර එය තම රටට ලැජ්ජාවේ දිනයක් ලෙස කියා සිටියේ ය. තමාගේ අධීක්ෂණය යටතේ සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ සිදු වන බවත්, වගකිව යුත්තන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත් ඔහු පවසයි. ආගමික සංහිඳියාව පිළිබඳ පකිස්ථාන අග්‍රාමාත්‍ය විශේෂ නියෝජිත තාහීර් අෂ්රෆි මවුලවිතුමා පැවසුවේ ඝාතනය සම්බන්ධයෙන් පවුලේ අය වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරන අතර මෙය හෙළා දැකීම සඳහා ආගමික විද්වතුන් විසින් ළඟදීම ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වන බවයි. කෙසේ වෙතත් අද පස්වරුවේ මේ සිදුවීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණේ පන්ජාබ් පොලිස්පති, පන්ජාබ් නිතී අමාත්‍ය සහ පකිස්ථානූ ත්‍රස්ත මර්දන දෙපාර්තමේන්තුව ඇතුළු ඉහළ නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙනි. මින් පෙර අවස්ථාන ගණනාවක දී පකිස්ථානයේ සියල්කොට්හී මෙවැනිම සිදුවීමක් වාර්තා විය. 2011 වසරේ දී ද සියල්කොට්හී මෙවැනිම කණ්ඩායමක් තරුණයින් දෙදෙනකුට දැඩි වදහිංසා කර පහර දී ඝාතනය කළේ පොලිස් නිලධාරීන් 15 දෙනෙකු බලා සිටයදී ය. කෙසේ වෙතත් පකිස්ථාන අධිකරණයකින් ඊට සම්බන්ධ වූ හත් දෙනෙකුට මරණීය දණ්ඩය ලබා දීමට ද කටයුතු කළේ ය. මේ අතර පකිස්ථානයේ සියල්කොට්හී දී ශ්‍රි ලාංකියෙකු ඝාතනය කිරීමේ සිදුවීම පිළිබඳව තමන් දැඩි කණස්සල්ලට පත් වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. පකිස්ථාන අග්‍රමාත්‍ය ඉම්රාන් ඛාන් ඇතුළු රජය යුක්තිය ඉටු කරනු ඇති බවත්, එරට වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව සහතික කරනු ඇති බවට තමන් දැඩි ලෙස විශ්වාසය පළ කරන බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ එම නිවේදනයේ සඳහන් ය.