පකිස්ථානයේදී ලාංකිකයා ඝාතනය රජය හෙළා දකී..

පකිස්ථානයේදී ලාංකිකයා ඝාතනය රජය හෙළා දකී..

by Staff writer 04-12-2021 | 1:49 PM

COLOMBO (NEWS1ST): පාකිස්ථානයේදී ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කිරීමේ සිදුවීම රජය දැඩි පිළිකුලෙන් හෙළා දකින බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(04) පාර්ලිමේන්තුවේදී පැවසුවේ ය.

ඔහු පැවසුවේ, ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත්වීම පිළිබඳව සතුට පළ කරන බවයි. සියල්කොට්හී වසිරාබාද් මාර්ගයේ දී ශ්‍රී ලාංකික ශ්‍රමිකයෙකු පාකිස්ථානුවන් පිරිසක් විසින් වධ හිංසනයට ලක් කර ඝාතනය කරනු ලැබ තිබිණ. පකිස්ථාන ඩෝන් පුවත් වෙබ් අඩවිය සඳහන් කළේ, වධහිංසනයට ලක් කර ඝාතනය කිරීමෙන් පසු ඔහුගේ සිරුර පුළුස්සා දමා ඇති බවයි. මෙලෙස ඝාතනය කර ඇත්තේ , සියල්කොට්හී පෞද්ගලික කර්මාන්ත ශාලාවක සාමාන්‍යාධිකාරීවරයෙකු ලෙස සේවය කළ ශ්‍රී ලාංකිකයෙකි. ඔහුගේ නම ප්‍රියන්ත කුමාර ලෙස එම වෙබ් අඩවිය අනාවරණය කර තිබුණි. මේ අතර මෙම ශ්‍රී ලාංකිකයා කෲර ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 100 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.