by Sagarika Chathumali 04-12-2021 | 3:51 PM
COLOMBO (NEWS1ST): පකිස්ථානයේ වෙසෙන සෙසු ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සුරක්ෂිත කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පකිස්ථාන රජයෙන් ඉල්ලා සිටී.
සියල්කොට්හී වසිරාබාද්හිදී ශ්‍රී ලාංකික වෘත්තිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ, එම ම්ලේච්ඡ සිදුවීම ශ්‍රී ලාංකිකයින්ට සේම මනුෂ්‍යත්වය අගයන ලොව සැමට බලවත් කම්පනයක් බවයි.
පාකිස්තානයේ කර්මාන්ත ශාලාවක සේවය කළ ශ්‍රී ලාංකික වෘත්තිකයෙකු වූ ප්‍රියන්ත කුමාර මහතා අමානුෂික ලෙස ඝාතනය කිරීම පිළිබඳ තමන් මහත් සේ සංවේගයට පත්වූ බව ද ජනාධිපතිවරයා පවසා තිිබේ.
පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය මෙම ම්ලේච්ඡ ඝාතනය සිදුවූ වහාම යුක්තිය පසිඳලීමට ගත් ක්‍රියාමාර්ගය අගය කරන ජනාධිපතිවරයා මීට අදාළව පකිස්ථාන රජය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග දෙස ශ්‍රී ලංකා රජයත් , සමස්ත ජනතාවත් දැඩි විශ්වාසයෙන් යුතුව බලා සිටින බව ද අදාළ නිවේදනය මගින් අවධාරණය කර ඇත.
තව ද සිද්ධිය වාර්තා වූ වහාම තමන් හා අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතා පාකිස්ථානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට හා විදේශක ටයුතු අමාත්‍යංශයට ලබා දුන් උපදෙස් අනුව ඔවුන් මේ වනවිටත් ක්‍රියාත්මක වෙමින් සිටින බව ද අදාළ නිවේදනයේ සඳහන් ය.
ජනාධිපතිවරයා සිහිපත් කරන්නේ මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මේ මොහොතේ දැඩි කම්පනයට පත් ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ සමීපතමයන් සමග තමා සහ රජය මෙන්ම සමස්ත ශ්‍රී ලාංකික ජනතාවත් සිටින බවයි.