විදුලි ඉංජිනේරුවන් අකුරට වැඩ තාවකාලිකව අත්හරී

රට පුරා පැය 5 ක් බිඳ වැටුණු විදුලිය සැපයුම ක්‍රමයෙන් යථා තත්ත්වයට

by Staff Writer . 03-12-2021 | 6:59 PM

COLOMBO (NEWS1ST):  අද දිනයේ පැය 5 කට ආසන්න කාලයක් රටපුරා විදුලි සැපයුම බිඳ වැටුණි.

විදුලිබල අමාත්‍යංශය පවසන්නේ, කොත්මලේ සිට බියගම දක්වා විදුලිය සම්ප්‍රේෂණය කළ ප්‍රධාන රැහැන් පද්ධතියේ සිදුවූ බිඳ වැටීමක් ඊට හේතු වූ බවයි. මේ බිඳ වැටීම සිදුවූයේ විදුලි ඉංජිනේරුවන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක්ද දියත්කර තිබියදී ය. විදුලිය බිඳ වැටීමට සමගාමීව ඇතැම් ප්‍රදේශවල ජලය සැපයීමට ද බාධා ඇතිවී තිබුණි. අද පෙරවරු 11.30 ට පමණ රටපුරා විදුලි සැපයුම බිඳ වැටුණු අතර ඒ සමග ජනතාවගේ එදිනෙදා කටයුතුවලට එල්ලවූයේ දැඩි බලපෑමකි. විදුලිය බිඳ වැටීමෙන් කොළඹ ජාතික රෝහලේ කටයුතුවලට ද බාධා ඇති විය. අද පස්වරු 2.30 ට පමණ කොළඹ ජාතික රෝහල ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලිය සැපයුම යථා තත්ත්වට පත් කිරීමට විදුලි බල මණ්ඩලයට හැකියාව ලැබිණ. සෙසු බොහෝ ප්‍රදේශවලත් සැපයුම යථා තත්ත්වයට පත්කර තිබුණේ, පස්වරු 5 පමණ ය.

රට පුරා විදුලිය බිඳ වැටුණේ ඇයි?

ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානය පළ කරන්නේ මෙවන් අදහසකි

''

නොරොච්චෝලේ මැෂින් දෙකක් ඔෆ් වෙලා තියෙනවා. නොරොච්චෝලේ මොගවොට් 300 මැෂින් තුනක් තියෙනවා. තුනෙන් එකක නඩත්තු කඩයුතු සඳහා නවත්වලා තිබ්බේ. මැෂින් දෙකක් ස්වයංක්‍රීයව ක්‍රියා විරහිත වීමත් සමග, විදුලිය බිඳ වැටිමක් සිදු වුණා. ඒ එක්කම අපිට තියෙන තොරතුරු අනුව සපුගස්කන්දෙ දුවමින් තිබූ මැෂීන් ස්වයංක්‍රීයව පද්ධතියෙන් ඉවත් වෙලා තියෙනවා''

(රංජන් ජයලාල් - ලේකම්)

විදුලි ඉංජිනේරු සංගමය අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමෙන් පසුව පසුගිය 26 වනදා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා විදුලි අධිකාරීවරුන්ගේ බලතල පුළුල් කරමින් චක්‍රලේකයක් නිකුත්කර තිබුණි. ඊයේ පස්වරුවේ විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය සාමාන්‍යාධිකාරී එම්.ආර් රණතුංග මහතාට දැනුම්දී තිබුණේ, වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය යටතේ ඔහුට සහය දැක්වීමෙන් වැළකීමට තීරණය කර ඇති බවයි. පැය 5 කට ආසන්න කාලයක් රටපුරා සිදුවී විදුලිය බිඳ වැටීමෙන් පසුව අද පස්වරුවේ විදුලි ඉංජිනේරු සංගමය නිවේදනය කළේ, තමන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවන බවයි. විදුලි ඉංජිනේරුවන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරතවූයේ අවිධිමත් සහ නීත්‍යනුකුල නොවන නිව් ෆෝට්‍රෙස් LNG ගනුදෙනුව ක්‍රියාත්මක නොකිරීම, දැනට සිදු වන LNG ටෙන්ඩර් ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට පවත්වාගන යාම, විදුලි බලමණ්ඩලය කොටස්වලට වෙන් කිරීමේ වැඩපිළිවෙල අත්හිටුවීම, 1969 අංක 17 දරණ විදුලි බල මණ්ඩල පනත සංශෝධනය අත්හිටුවීම, සමාන්‍යාධීකාරී තනතුර දේශපාලනීකරණයෙන් වැළැක්වීම, ජ්‍යෙෂ්ඨ කළමනාකාරවරුන් මාරුකර යැවීම අත්හිටුවීම යන ඉල්ලීම් මුල්කර ගනිමිනි. මේ අතරවාරයේ කිහිප දෙනෙකුට ස්ථානමාරු ලබාදීම පිළිබඳව ද ඉංජිනේරු සංගමය පසුගිය දිනවල දැඩි විරෝධය පළ කළේ ය.