පකිස්ථානයේ වීථියකදී ලාංකිකයෙකු මරා දැමේ

පකිස්ථානයේ සේවය කළ ලාංකිකයෙකු මහමගදී මරා දැමේ

by Staff Writer . 03-12-2021 | 7:18 PM

COLOMBO (NEWS1ST):  පකිස්ථානයේ සියල්කොට්හීදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයෙකු පාකිස්තානුවන් පිරිසක් විසින් වධහිංසනයට ලක් කර ඝාතනය කර ඇතැයි, එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

පකිස්ථානයේ සියල්කොට්හී වසිරාබාද් මාර්ගයේ දී මෙම ඝාතනය සිදුවී තිබේ. පකිස්ථාන ඩෝන් පුවත් වෙබ් අඩවිය සඳහන් කළේ, වධහිංසනයට ලක් කර ඝාතනය කිරීමෙන් පසු ඔහුගේ සිරුර පුළුස්සා දමා ඇති බවයි. මෙලෙස ඝාතනය කර ඇත්තේ සියල්කොට්හී පෞද්ගලික කර්මාන්ත ශාලාවක සාමාන්‍යාධිකාරීවරයෙකු ලෙස සේවය කළ ශ්‍රී ලාංකිකයෙකි. ඔහුගේ නම ප්‍රියන්ත කුමාර ලෙස එම වෙබ් අඩවිය අනාවරණය කර තිබුණි. පන්ජාබ් ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය හුස්මාන් බුස්ඩාර් පවසා තිබුණේ, මෙය ඉතා ඛේදනීය සිද්ධියක් බවයි. මෙම සිදුවීමේදී නීතිය අතට ගත් පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර ගත යුතු බව ද ඔහු අවධාරණය කර තිබේ. ඩෝන් පුවත් වෙබ් අඩවිය සඳහන් කළේ, මේ පිළිබඳව දැඩි විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පන්ජාබ් පොලිස්පතිවරයා සඳහන් කළ බවයි. කෙසේ වෙතත් මෙම ශ්‍රී ලාංකික පුද්ගලයා ඝාතනය කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. මේ පිළිබඳව විමසීමට පාකිස්ථානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් විශ්‍රාමික වයිස් අද්මිරාල් මොහාන් විජේවික්‍රම මහතා ඇමතීමට උත්සාහ කළත් එහි නිලධාරිනියක සඳහන් කළේ, මහ කොමසාරිවරයා රැස්වීම් නිසා කාර්ය බහුල බවයි. සිද්ධිය සැලවුවහොත් ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් අවශ්‍ය පියවර ගන්නා බව එම නිලධාරිණිය සඳහන් කළා ය.