චීන පොහොරවලට මුදල් ගෙවීම තවදුරටත් වැළකේ..

චීන පොහොරවලට මුදල් ගෙවීම වැළැක්වූ වාරණ නියෝගය දීර්ඝ කෙරේ

by Staff Writer . 03-12-2021 | 11:26 AM

COLOMBO (NEWS1ST): චීන පොහොර සඳහා ණයවර ලිපි මගින් මුදල් ගෙවීම වළක්වමින් මහජන බැංකුවට හා දේශීය නැව් සමාගමට එරෙහිව පවරා තිබූ වාරණ නියෝග ලබන 23 වෙනිදා තෙක් දීර්ඝ කෙරිණ.

ඒ, නඩුව කොළඹ වානිජ මහාධිකරණ විනිසුරුවරු ප්‍රදීප් හෙට්ටිආරච්චි හා ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් හමුවේ අද කැඳ වූ අවස්ථාවේදී ය. එලෙස දීර්ඝ කෙරුණේ, චීනයේ චින්දා ඕ සමාගමෙන් ජීවානුහරණය කළ කාබනික පොහොර ආනයනය නොකිරීම නිසා එම සමාගමේ දේශීය නියෝජිතයන්ට ණයවර ලිපි මගින් මුදල් ගෙවීම වළක්වමින් නිකුත් කළ වාරණ නියෝගයයි. සී/ස පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම විසින් නඩුව ගොනු කර තිබේ. මේ අතර උපද්‍රවකාරී ක්ෂුද්‍ර ජීවින් ඇති බවට මෙරට ශාක නිරෝධායන සේවය දෙවරක් තහවුරු කළ චීන කාබනික පොහොර තොගය රැගත් හිපෝ ස්පිරිට් නෞකාව තවමත් ශ්‍රී ලංකා මුහුදු තීරයේ රැඳී සිටී. ජාත්‍යන්තර නාවුක ගමනාගාමන දත්තවලට අනුව එම නෞකාව ඊයේ නැංගුරම්ලා තිබුණේ, බේරුවල සිට නාවික සැතපුම් 12.4 ක සෘජු දුරකිනි.