ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්: මිකී ආතර්ට අමතක නොවන සමුගැනීමක්..

by Staff Writer . 03-12-2021 | 6:19 PM

COLOMBO (News 1st) - බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2 ට 0 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම අද (03) ජය ගත්තේය .

ඒ, දෙරට අතර පැවති, දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය ලකුණු 164 කින් ජය ගනිමිනි . ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියළු දෙනා දැවී රැස් කළ ලකුණු 204 ට පිළිතුරු ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 253 ක් රැස් කළේ ය . අනතුරුව දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 9 ක් දැවී ලකුණු 345 ක් ලබා සිටියදී ඉනිම අත්හිටු වීමට තීරණය කළේ ය . ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 155 . ජයග්‍රහණය සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 297 ක ඉලක්කයක් හිමි වූ අතර කොදෙව් කණ්ඩායමට සියළු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 132 ක් පමණි. එන්කෘමා බොනර් ලකුණු 44 ක් රැස් කළේ ය . පන්දු යැවීමේ දී රමේෂ් මෙන්ඩිස් සහ ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 5 බැගින් දවා ගැනීම විශේෂත්වයකි. මෙම තරගය මිකී ආතර් මහතාගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ අවසන් තරගයයි.