බාල චීන පොහොර නැව තවමත් ශ්‍රී ලංකා මුහුදේ...

#SeaOfSriLanka : බාල චීන පොහොර නැව තවමත් ශ්‍රී ලංකා මුහුදේ...

by Staff Writer . 02-12-2021 | 12:41 PM

COLOMBO (NEWS1ST) : උපද්‍රවකාරී ක්ෂුද්‍ර ජීවින් ඇති බවට දෙවරක් තහවුරු කරන ලද චීන පොහොර තොගය රැගත් හිපෝ ස්පිරිට් නෞකාව තමත් ශ්‍රී ලංකා මුහුදු තීරයේ රැඳී සිටී.

ජාත්‍යන්තර නාවුක ගමනාගාමන දත්තවලට අනුව එම නෞකාව නැංගුරම්ලා ඇත්තේ බේරුවල සිට නාවික සැතපුම් 12.4 ක සෘජු දුරකිනි. මෙම නෞකාව පසුගිය සැප්තැම්බර් 22 චීනයේ චින්දාඕ වරායෙන් පිටත්වී තිබුණේ, කොළඹ වරායට පැමිණෙන බවට ප්‍රසිද්ධ කරමිනි. නමුත් අතරමගදී ගමන් මාර්ගය වෙනස් කළ නැව සිංගප්පූරුවට යාත්‍රා කළ අතර අවසන්වරට එය ඔක්තෝම්බර් 13 වනදා ජාත්‍යන්තර නාවික ගමනා ගමන දත්ත පද්ධතිවල දක්නට ලැබුණේ, මලක්කා සමුද්‍ර සන්ධියේයි. ඉන් සපසුව හිපෝ ස්පිරිට් නැව පිළිබඳව තොරතුරක් නොලැබුන අතර එක්වරම එය යාල වනෝද්‍යානයට සමීපව හම්බන්තොට මුහුදේ ඔක්තෝම්බර් 24 වනදා දක්නට ලැබුණේ, සෙයියෝ එක්ස්ප්ලෝරර් නමිනි. එම අවස්ථාවේ දත්ත සටහන් අනුව නෞකාව හම්බන්තොටින් පිටත ගැඹුරු මුහුදට යාත්‍රාකරන ආකාරයක් දක්නට ලැබුණ අතර යළිත් දත්ත සටහන්වලින් එය අතුරුදන් විය. මේ අතර ඔක්තෝම්බර් 31 වනදා නැවේ දත්ත යාවත්කාලීන කර තිබූ අතර හම්බන්තොට මුහුදේ 24 වනදා දිස්වූ නැව හිපෝ ස්ප්‍රිට් ලෙස යාවත්කාලීන කළ දත්තවල සඳහන්ව තිබුණි. අනතුරුව කොළඹ වරායෙන් ආහාර පාන ලබාගනිමින් හිපෝ මෙම නැව තවමත් කළුතර මුහුදේ සැරිසරමින් සිටී. චීන පොහොර තොගයේ අහිතකර බැක්ටීරියා ඇතැයි ජාතික ශාක නිරෝධායන සේවය මුලින්ම හෙළි කළේ, පසුගිය සැප්තැම්බර් 9 වන දිනයි. චීන සමාගම සහ මෙරට පාර්ශ්ව අතර හුවමාරු වූ මේ ලිපි අනුව අදාළ පොහොර තොගය සඳහා ණයවර ලිපි විවෘත කර ඇත්තේ සැප්තැම්බර් 17 වැනිදායි. මේ අනුව ශාක නිරෝධායන සේවය අහිතකර බැක්ටීරියා හඳුනා ගැනීමෙන් පසුව මෙම පොහොර තොගය සඳහා ණයවර ලිපි විවෘත කිරීම ප්‍රශ්න සහගතයි. ඒ අතර වාරයේ සැප්තැම්බර් 12 වනදා චීන සමාගම මෙරට බලධාරීන්ට ලිපියක් යොමුකර තිබිණ. එම ලිපියෙන් ඔවුන් දැනුම්දී තිබුණේ, ශ්‍රී ලංකාව සඳහන් කරන ප්‍රමිතියට කිසිවෙකුට කාබනික පොහොර සැපයිය නොහැකි අතර අවශ්‍ය නම් බැක්ටීරියා කිහිපයක ප්‍රමාණය තවදුරටත් අඩුකළ හැකි බවයි. එයට අකමැති නම් සාමකාමීව තමන් තැන්පත්කර ඇති කාර්යක්ෂමතා බැඳුම්කරය ආපසු ලබා ගෙන ගනුදෙනුවෙන් ඉවත්වීමට ද චීන සමාගම කැමැත්ත පළ කර තිබුණි. එවන් තත්ත්වයක් තිබියදී මෙම පොහොර ගනුදෙනුවට අදාළ විෂය බාර අමාත්‍යවරයා පසුගිය 26 වනදා පාර්ලිමේන්තුව අමතමින් මෙවැනි ප්‍රකාශයක් ද සිදු කළේ ය.
''ආනයනය කළ කාබනික පොහොර නැව දැනට දින හැත්තෑවකට වැඩිය මහ මුහුදේ දුකෙදීත් සැපේදීත් අපිත් එක්ක හිටපු අපේ මිත්‍රයා අපේ සහෝදරයා චීන රාජ්‍ය අද අපිත් එක්ක විරසකවෙලා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කියනවා. මේක අහිතකර ශුද්‍ර ජීවීන් නෑ. මේ පොහෙර තොගය රටට ඇතුළත් කරගැනීමට සුදුසුයි කියලා. එකම රජයේන් පාලනය වන ශාක ආරක්ෂණ ආයතනයේ රසායනාගාරය කියනවා. මේක අහිතකරයි ශුද්‍රජීවීන් ඉන්නවා කියලා. රජයේ රසායනගාර දෙකක් එකිනෙකට පරස්පර සහතික නිකුත් කරනකොට චීන රජයට ඇතිවෙන වේදනාකාරි තත්ත්වය අපිට හඩනගා කියනවා. මොන තීරණය ගත්තත් අපේ රටවල් දෙක අතර සම්බන්ධය තවදුරටත් ආරක්ෂා කරන්න අවශ්‍යයි''
මෙම ගනුදෙනුවට අදාළ නඩුවත් මේ වන විට කොළඹ වානිජ මහාධිකරණයේ විභාග වේ. මේ නැව තවමත් #SeaOfSriLanka අපේ මුහුදු සීමාවේ සිදු කරන්නේ කුමක් ද?