හාලිඇල පාසලක වැඩමුළුවක් කළ සැකකරුවන් 4 ක් දැලේ

හාලිඇල පාසලක අනවසර වැඩමුළුවක් පැවැත් වූ සැකකරුවන් 4 ක් අත්අඩංගුවට

by Staff Writer . 02-12-2021 | 9:14 AM

COLOMBO (NEWS1ST) : හාලිඇල ප්‍රදේශයේ විද්‍යාලයක දරු දැරියන්ට මනෝවිද්‍යාත්මක වැඩසටහනක් පවත්වන බව පවසමින් අනවසර වැඩමුළුවක් පැවැත්වීමට පැමිණි සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, සැකකරුවන් සන්තකයේ තිබී ගමන් කථන 03 ක් සහ වායු රයිෆලයක් හා ඒ සඳහා භාවිත කරනු ලබන පතරොම් 129 ක් සිය භාරයට ගත් බවයි. මෙම මනෝවිද්‍යාත්මක වැඩසටහන පැවැත්වීමට පැමිණි උපදේශකවරයා කළු පැහැති ඇඳුමින් සැරසී පුද්ගලික ආරක්ෂකයින් පිරිසක් සමග පැමිණ ඇති බවටත්, ඔවුන් ගමන් කථන සහ ගිනි අවියක් තබාගෙන සිටින බවටත් හාලිඇල පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ. පසුව පොලීසිය කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම වැඩසටහන කිරීම සඳහා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ හෝ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ අනුමැතිය ලබා ගෙන නොමැති බවයි. එමෙන්ම මෙම වැඩසටහන මෙහෙය වන උපදේශකවරයා කිසිඳු ලියාපදිංචි ආයතනයක හෝ එවැනි වැඩසටහන් පැවැත්වීම සඳහා සුදුසුකම් ලද්දකු නොවන බව හෙළි වී තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවන් 04 දෙනා අද (12) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. පාසල් ළමුන් පිළිබඳ කටයුතු කිරීමේදී නොදන්නා පුද්ගලයින් මෙන්ම නොගැළපෙන ආකාරයේ පුද්ගලයින් පාසල් තුළට කැඳවා ගැනීමෙන් වළකින්නැයි, පොලීසිය නිලධාරින්ගෙන් ඉල්ලා සිටී.