ගෑස් පිපිරීම් වූ ස්ථාන නිරීක්ෂණය කිරීමේ තීරණයක්...

ගෑස් පිපිරීම් වූ ස්ථාන නිරීක්ෂණයට ජනපති කමිටුවෙන් තීරණයක්

by Staff Writer . 02-12-2021 | 8:40 AM

COLOMBO (NEWS1ST) :  පසුගිය දිනවල ගෑස් කාන්දු වීම් හේතුවෙන් පිපිරීම් සිදුවූ ස්ථාන නිරීක්ෂණය කිරීමට, ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනිගැනීම් හෝ පුපුරායාම් පිළිබඳ විමර්ශනයට හා විසඳුම් සෙවීමට ජනාධිපතිවරයා පත් කළ කමිටුව තීරණය කර තිබේ.

ඒ අදාළ කමිටුව ඊයේ පස්වරුවේ මොරටුව විශ්වවිද්‍යාලයේදී රැස්වූ අවස්ථාවේදී ය. එම කමිටු නියෝජිතයෙකු පැවසුවේ, එම නීරීක්ෂණවලදී අදාළ සිදුවීම් සම්බන්ධයෙන් විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කිරීමට නියමිත බවයි. ගෑස් කාන්දුවකදී හා ගෑස් කාන්දුවක් වළක්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් අද ජනතාවට නිකුත් කරන බව ද ඔහු සඳහන් කළේ ය. ගෑස්වල සංයුතියේ වෙනසක් සිදු කර තිබේ ද යන්න සම්බන්ධයෙන් ද විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කිරිමට නියමිතයි. කමිටු වාර්තාව ඉදිරි දෙසතිය ඇතුළත ජනාධිපතිවරයා වෙත භාර දීමට සැලසුම් කර තිබේ. ජනාධිපතිවරයා පත් කළ අදාළ කමිටුවේ, සභාපතිවරයා ලෙස මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පොල මහතා කටයුතු කරයි. පසුගිය දින තුන තුළ පමණක් ගෑස් කාන්දුවීම් හේතුවෙන් සිදුවූ පිපිරීම් 35 ක් දිවයිනේ ප්‍රදේශ රැසකින් වාර්තා විය. ගෑස් කාන්දුවීම් පිළිබඳ දේශපාලාන වේදිකාවේ ද විවිද අදහස් පළ විය. මේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා යන මහත්වරුන් ය.