අද (02)ත් ස්ථාන කිහිපයක ගෑස් පිපිරීම්…

by Staff Writer . 02-12-2021 | 9:26 AM

COLOMBO (NEWS1ST) : අදත් ගෑස් ආශ්‍රිත අනතුරු කිහිපයක් ප්‍රදේශ කිහිපයකින් වාර්තාවී තිබේ.

ඊයේ (01) දිනය තුළ අනතුරු 13 ක් වාර්තා වූ අතර පෙරේදා වාර්තා වූ අනතුරු සංඛ්‍යාව 14 කි. කන්තලේ - අග්බෝපුර නිවසක සිදු වූ ගෑස් කාන්දුවක් හේතුවෙන් උඳුන පුපුරා ගොස් විනාශ වී තිබේ. ඊයේ රාත්‍රී 9.00 ට පමණ මෙය සිදුව ඇති අතර අනතුරින් කිසිවෙකුට හානියක් සිදුව නොමැත. පසුව කාන්දු වන ගෑස් ටැංකිය නිවසින් පිටතින් තැබීමට නිවැසියන් පියවර ගෙන තිබිණ. මේ අතර මහර, කඩවත කිරි මැටියාගාර ප්‍රදේශයේ නිවසක ද අද උදෑසන ගෑස් උඳුන පුපුරා ගොස් තිබුණි. නිවැසියන් පවසන්නේ උදෑසන ආහාර සාදා නිමවීමෙන් අනතුරුව මෙම අනතුර සිදුවූ බවයි. වේයන්ගොඩ, හීන්දෙණිය පට්ටිගොඩ ප්‍රදේශයේ නිවසක ද ඊයේ රාත්‍රී ගෑස් උඳුන පුපුරා ගියේ ය. කෙසේ වෙතත් ඉන් නිවැසියන්ට හානි සිදුව නොතිබිණ. මේ අතර අක්මීමන කුරුඳුවත්ත, ප්‍රදේශයේ ගෑස් අලෙවිසැලක තිබූ ගෑස් සිලින්ඩර් දෙකකින් ගෑස් කාන්දු වීම සිදුවිය.